brand logo

විශ්‍රාම වැටුප් විෂමතාවට අයවැයෙන් විසඳුම් ඉල්ලයි

17 February 2019

විශ්‍රාම වැටුප් විෂමතාවය ඉවත් කර තමන්ට සිදුවූ අසාධාරණයට මෙවර අයවැයෙන් විසඳුම් ලබා දෙන මෙන් විශ්‍රාම ගැන්වූන්ගේ සංවිධානය රජයෙන් ඉල්ලා සිටියි. මෙම ගැටලුවලට විශ්‍රාම ගැන්වූවන්ගේ සංවිධානයේ 170ක පමණ පිරිසක් මුහුණ පා ඇත. ඔවුහු රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛ අංක 44/90 යටතේ විශ්‍රාම ගැන්වූවෝ වෙති. රාජ්‍ය පරිපාලන අංක 44/90 හි විධි විධාන අධ්‍යයනය නොකර කටයුතු කිරීමෙන් හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සතු වූ ඊනියා ප්‍රතිශත වගුවකට ඔවුන් යටත් කිරීම හේතුවෙන් මෙම ගැටලුව හටගෙන ඇතැයි පැවසේ. එම සංවිධානයේ පරිපාලන ලේකම් ටී. ලක්ෂ්මන් පීරිස් සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද දැනුවත් කර ඇති බවයි. ඒ අනුව සියයට 80ක් වූ වැටුප් ප්‍රතිශතය සියයට 45 දක්වාද සියයට 90ක් වූ වැටුප් ප්‍රතිශතය සියයට 75 දක්වාද කප්පාදු කිරීම සඳහා විශ්‍රාම වැටුප් චක්‍ර ලේඛ අංක 6/2004 මගින් කටයුතු කර ඇත. 2004 වසරේ ජනවාරි මාසයේ සිට පවතින මෙම ගැටලුවලට විසඳුම් ලබාදීමට එක් එක් කාලවකවානුවල සිටි විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂවරුන් කීප දෙනෙක්ම එකඟතාව පළ කර ඇත. නමුත් මේ වනතුරු ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. කෙසේ වුවද මේ සම්බන්ධව 2017 වසරේ දෙසැම්බර් මස 17 වැනිදා පුවත්පතක පළ වූ ලිපියක් පදනම් කර ගෙන රාජ්‍ය සේවයේ සියලු විශ්‍රාමිකයන්ගේ ගැටලු සතියක් ඇතුළත නිරාකරණය කර දෙන බව ජනාධිපතිවරයා හපුතලේ නගරයේ පැවැති ජන හමුවකදී ප්‍රකාශ කර ඇත. සහරා විජේසේකර
 

More News..