brand logo

විශ්‍රාම ගිය හෙද හෙදියන්ට ආරාධනාවක්

09 June 2021

විශ්‍රාම ගිය හෙද හෙදියන් ද අවශ්‍යතාවය අනුව කොන්ත්‍රාත් පදනම යටතේ නැවත සේවයට බඳවා ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දී ඇත. අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ අරලියගහ මන්දිරයේ අද (09) පැවති සාකච්ඡාවකදීයි. හෙද සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ ඉල්ලීමකට අනුව පැවති සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිවරයා එම අදහස් පළ කර ඇත. දිවයින පුරා හෙද හෙදියන් 34,000ක් පමණ මේ වනවිට සේවයේ නිරතව සිටින අතර ඔවුන් දැනට මුහුණ පා ඇති ගැටලුවලට කෙටි කාලීන හා දිගු කාලීන විසඳුම් සහ යෝජනා සාකච්ඡා කිරීම එම හමුවේ අරමුණ වී තිබිණි. මෙහිදී හෙද හෙදියන්ට ලබා දෙන දීමනා සහ පහසුකම් ඉහළ දැමීම සම්බන්ධයෙන් ද මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ එහිදී අදහස් පළ කළහ. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය හා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩි සත්කාර ඒකකයට නුපුහුණු හෙදියන් යොදා ගැනීම සම්බන්ධයෙන් ද උන්වහන්සේ මෙහි දී පෙන්වා දුන්හ. සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් දැනට වසරකට පුහුණුව සඳහා බඳවා ගන්නේ හෙද හෙදියන් 2000ක් තරම් අඩු පිරිසක් නිසා මෙම තත්ත්වය උද්ගතවී ඇති බව පෙන්වා දී තිබේ.
 

More News..