brand logo

විශ්‍රාමික යුධ හමුදා මේජර් සහ නීතිඥ අජිත් ප්‍රසන්නට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි

23 January 2020

බලපත්‍ර නොමැතිව අලි පැටවකු සන්තකේ තබා ගත් බවට චෝදනා කරමින් අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන නඩුවක් සම්බන්ධයෙන් ඉකුත්දා පැවැති මාධ්‍ය හමුවකදී අදහස් පළ කිරීම තුළින් අධිකරණ අපහාසයක් සිදුවී තිබේද යන්න පිළිබඳව විභාගයක් පැවැත්වීම සඳහා විශ්‍රාමික යුධ හමුදා මේජර් සහ නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට හෙට (24) දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් නොතිසි නිකුත් කර තිබේ. අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් ඉකුත් 14 වනදා කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවන ලදී. එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් 12 වන දා මාධ්‍ය හමුවක් පැවැත්වූ මේජර් අජිත් ප්‍රසන්න මහතා විසින් විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙම නඩුව බලාත්කාරයෙන් තමන් වෙත ලබාගෙන විභාග කරන බවටත් පැමිණිල්ලට ලකුණු කළ නොහැකි ලේඛන පවා ලකුණු කිරීමට අවසර ලබාදී තිබෙන බවටත් චෝදනා එල්ල කළ බව සඳහන් කර සිටියේය. මේ තුළින් අජිත් ප්‍රසන්න මහතා අධිකරණයට බලවත් අපහාසයක් සිදු කර ඇති බවද නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරයා පෙන්වා දුන්නේය. මෙම ප්‍රකාශ හා තම සේවාදායකයාගේ කිසිදු අදාළත්වයක් නොමැති බව එම අවස්ථාවේ විත්තිකාර තිළිණ ගමගේ මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ සඳහන් කළේය. ඉන් අනතුරුව අජිත් ප්‍රසන්න මහතා විසින් සිදුකළ බව කියන මාධ්‍ය සාකච්ඡාව පිළිබඳව මාධ්‍ය ආයතනවලින් වීඩියෝ දර්ශන ලබාගෙන විමර්ශන සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින් රහස් පොලිසියට නියෝග කර තිබුණි. ඒ අනුව රහස් පොලිසිය විසින් සිදුකළ අදාළ විමර්ශන වාර්තාව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ ගොනුකරන ලදී. එම විමර්ශන වාර්තාව සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් ප්‍රශ්නගත ප්‍රකාශය තුළින් අධිකරණයට අපහාසයක් සිදුවී තිබේද? යන්න පිළිබඳව විභාගයක් පැවැත්වීම සඳහා හෙට (24) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා විශ්‍රාමික යුධ හමුදා මේජර් හා නීතිඥ අජිත් ප්‍රසන්න මහතා වෙත නොතීසි නිකුත් කර තිබේ. (අධිකරණ වාර්තාකරු)
 

More News..