brand logo

විවාහක පෙම්වතුන් දෙදෙනා ලග්ගල සිසුවියන් දෙදෙනකු ඩැහැගෙන

15 June 2021

අවුරුදු පහළොවක් වූ පාසල් සිසුවියන් දෙදෙනකු රවටා පැහැරගෙන ගිය විවාහක තරුණයන් දෙදෙනෙකු හා ඊට උදව් කළ තවත් තරුණයන් දෙදෙනකු මෙන්ම සිසුවියන් දෙදෙනා රඳවා ගෙන සිටි කාන්තාවන් දෙදෙනකුද පසුගිය 13 වැනිදා අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලිසිය කියයි. ලග්ගල ​ පොලිස් බල ප්‍රදේශයේ ගම්මානයකින් හදිසි පැමිණිල්ලක් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් වෙත ලැබී ඇත. ඔහු මෙම සිද්ධියේ සුල මුල සෙවීම සඳහා ලග්ගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර රණවීරට භාරදී තිබේ.

ඇසුර ගොඩ නගා ගත්තේ සිසුවියන්ගේ පියවරුන්ට බොන්න දීලා

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ තරුණයන් පිරිසක් මෙම ප්‍රදේශයේ දහයියා එකතු කිරීම සඳහා පැමිණ ඇති අතර එම සිසුවියන්ගේ පියවරු සමග ඔවුන් නිතර මත්පැන් සාද පවත්වා ඇති බවත් පොලිසිය කියයි. එහි හිතවත්කම් මත එම සිසුවියන් හා පෙමින් වෙළුණු තරුණයන් පසුගිය දොළොස් වන දින රාත්‍රියේ වාහනයක් රැගෙන විත් ඉතා සූක්ෂ්ම ලෙස මෙම දැරියන් රවටා රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි. ජංගම දුරකථන දත්ත පිරිස්සමින් උපක්‍රමශීලීව ලග්ගල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම මෙම සිසුවියන් දෙදෙනා සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කළේ ඒ අනුවය. පොලිස් කණ්ඩායම්වලට ලැබුණු තොරතුරු මත එක් කණ්ඩායමක් බදුල්ල ප්‍රදේශයේ ස්ථානයක් පරීක්ෂාවට ගිය අතර තවත් කණ්ඩායමක් මෙම තරුණයන් පදිංචිව සිටින දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයට පිටත් කොට යැවූ බව පොලිසිය කියයි. බදුල්ල ප්‍රදේශයට ගිය පොලිස් කණ්ඩායමට එම තරුණයන්ගේ ඥාති පිරිස පවසා ඇත්තේ තම ප්‍රදේශයට එම පිරිස නොපැමිණි බවය. එහෙත් දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ගිය පොලිස් කණ්ඩායමට තරුණයන්ගේ ඥාතීන් කියා ඇත්තේ ඔවුන් බදුල්ල ප්‍රදේශයේ ඥාති නිවසක රැඳී සිටින බවය. කෙසේ වෙතත් පොලිස් ඇස්වලට වැලිගසා නිවෙස් දෙකක රැඳී සිටි පහළොස් හැවිරිදි තරුණියන් දෙදෙනා දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයෙන් සොයා ගැනීමට පොලිසියට ගත වූයේ පැය විසි හතරකට අඩු කාලයක් බව පොලිසිය කියයි. මෙම බාලවයස්කාර සිසුවියන් දෙදෙනා පැහැර ගෙන ගිය බවට සැක කරන 23 හැවිරිදි සහ 22 හැවිරිදි තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් එයින් එක් අයකු මේ වන විටත් විවාහයන් දෙකක් සිදු කරගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. මෙම තරුණයන් දෙදෙනාටම දරුවන් සිටින බවත් පොලිසිය කියයි. විවාහ වී නොමැති බව පවසා මෙම බාලවයස්කාර එක පන්තියේ ඉගෙනුම ලබන සිසුවියන් දෙදෙනා පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

උදව් කළ මිතුරන් දෙදෙනක් හා කාන්තාවන් දෙදෙ‍ෙනක් දැලේ

මෙම සිසුවියන්ට රැකවල් දුන් නිවෙස් දෙකක කාන්තාවන් දෙදෙනෙක් හා සිසුවියන් ලග්ගල සිට දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයට රැගෙන යාම සඳහා උදව් කළ තවත් තරුණයන් දෙදෙනකුද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් ලග්ගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. කේ. ආරියදාස - දඹුල්ල
 

More News..