brand logo

විලාසිතා කරලා ටැටු ගහපු පලියට කෙල්ලෝ නන්නත්තාරේ යන්නේ නැහැ

06 November 2022

මමත් බුරිය විදලා කරාබුවක් දැම්මා ඒක මගේ කැමැත්ත

මගේ අම්මා දන්නවා මම කවුද කියලා

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ අරුණිගේ චරිතයෙන් රසිකයන්ගේ සිත් වසඟ කළ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ඉෂානි විජේතුංග කියන්නෙ. ඉෂානිගේ සරාගී විලාසිතා ගැන මේ දවස්වල සමාජ මාධ්‍යය තුළ විශාල කතාබහක් ඇතිවෙලා තියනවා. ඉතින් මේ ගැන විස්තර දැනගන්න අපි ඉෂානි එක්ක කතාකළා. අපි හැමෝම තරුණ කාලෙදි විලාසිතා කරලා ලස්සනට ඉන්න ඕන කියලයි මම හිතන්නෙ. අලුත් විදිහෙ විලාසිතා කරන්න මම ගොඩක් කැමැතියි. ඉතින් ඒ නිසා මම මගේ ශරීරයේ බුරිය ප්‍රදේශය විදලා කරාබුවක් පැලඳුවා. ඒක ඇත්තටම ලෝකයේ තරුණ පරම්පරාව අතර ජනප්‍රිය කලාවක් වගේම ලස්සන විලාසිතාවක්. ඒ වගේම තමයි මම මගේ උරහිස ප්‍රදේශයේ මල්වැලක ටැටූ එකක් කරලා තියනවා. ඉතින් මේ වගේ විලාසිතා කරන්න මම ගොඩක් ආසයි. මට හිතුණාම කොණ්ඩෙ පාටකරන වෙලාවලුත් තියනවා. අවස්ථාවට අනුව තැනට ගැළපෙන විදිහට කොට ඇඳුම් වගේම දිග ඇඳුමුත් මම අඳිනවා. මම මේ කිසිම විලාසිතාවක් සරාගීකම පේන්න කරන දේවල් නෙවෙයි. මම හිතන්නෙත් නැහැ මම ඒ විදිහෙ සරාගී ගෑනු ළමයෙක් කියලා. මේ මම ලස්සනට ඇඳලා ඉන්න උත්සාහ කරන සාමාන්‍යය විදිහ. නමුත් සමහරු මේ විදිහට ගෑනු ළමයෙක් ලස්සනට ඇඳලා ජීවිතය විඳලා ඉන්නකොට අනාචාරයේ හැසිරෙන ගණිකාවක් කියලා කතා හදන අවස්ථා තියනවා. නමුත් මම දන්නවා මම කවුද කියලා. මාව හදපු වඩපු මගේ අම්මා දන්නවා මගේ චරිතය ගැන. මගේ තාත්තා රට වෙනුවෙන් දිවි පුදපු වීරෝදාර රණවිරුවෙක්. තාත්තා නැතිවුණේ මම පුංචි කාලෙදිමයි. තාත්තා නැහැ කියලා අම්මා මාව වැරදි විදිහට හැදුවෙ නැහැ. අද මම මෙතැන ඉන්නෙ තාත්තත් නැතුව තනියම මගේ අම්මා මාව දුක් මහන්සිවෙලා හදපු නිසා. මම මොන විදිහෙ විලාසිතාවක් කළත් කරන්නෙ මගේ අම්මාගේ අවසරය අරගෙන. අම්මා අවසර දෙන්නෙ නැති විලාසිතා මම කරන්නෙ නැහැ. මේ ලෝකෙ කොයි කාටත් වඩා අම්මා කියන්නෙ මාව තේරුම් අරන් ඉන්න චරිතයක්. ඉතින් ඒ නිසා වෙන කවුරුවත් මම කරන විලාසිතා ගැන මොන විදිහේ දේවල් කිව්වත් මම ගණන්ගන්නෙ නැහැ. අපේ මේ තරුණ වයස හැමදාම තියෙන එකක් නෙවෙයි. ඒ නිසා මේ කාලය ඇතුළත මම කැමැති විදිහට විලාසිතා කරලා සතුටින් ඉන්නයි මට ඕන. අද ඉන්න තරුණ පරම්පරාව නම් මේ දේවල් ගැන වැරදියට හිතන්නෙ නැහැ. ඔවුන් හැම දෙයක් ගැනම දැනුවත්ව ලෝකෙත් එක්ක ඉස්සරහට යන පිරිසක්. මේ විලාසිතා සම්බන්ධයෙන් වැරදි අදහස් දක්වන්නෙ මගෙත් එක්ක ඊර්ෂ්‍යාව තියන පුද්ගලයො කියලයි මම හිතන්නෙ. දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණු දා ඉඳලා අද වෙනකන් මගේ ජනප්‍රියතාව වැඩි වුණා මිසක අඩු වුණේ නැහැ. දෙවෙනි ඉනිමට අමතරව මේ වෙද්දි තවත් ටෙලි නාට්‍යය කිහිපයකින් මට ආරාධනා ලැබිලා තියනවා. ඉතින් මේ විදිහට මම රංගන ශිල්පිනියක් විදිහට ඉදිරියට යනවා දකින්න අකැමැති අය තමයි මට ඊර්ෂ්‍යා කරන්නෙ. මම ඒ දේවල් කිසි දෙයක් ගනන් ගන්නෙ නැහැ. ඒ දේවල්වලින් තවත් මගේ ආත්ම විශ්වාසය වැඩිකරගෙන සැලෙන්නෙ නැතිව මගේ ගමන දිගටම මම යනවා. ලක්ෂාන් ජයසූරිය
 

More News..