brand logo

විරෝධතා රැල්ල රටවල් 40කට පැතිරුණේ ඇයි?

08 June 2020

ජාතිවාදයට එරෙහිව ඇමරිකාව තුළ මෑත කාලයේ පැන නැගුණු දැවැන්තම විරෝධතාව දැන් දින ගණනක් තිස්සේ තවමත් ඉදිරියට යමින් තිබේ. කොවිඩ් වසංගතයේ අනතුර සහ ඇඳිරි නීතිය පවා නොතකමින් දස දහස් ගණන් ජනයා වීදි බසිමින් මෙසේ විරෝධතා දැක්වීමට හේතු වූයේ පසුගිය මැයි 25 වැනි දින ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයෙකු පොලිස් අත්අඩංගුවේ දී මිය යාමේ සිද්ධියයි. මෙම විරෝධතාව මෑත ඉතිහාසයේ ඇමරිකාව තුළ ඇති වූ දැවැන්තම විරෝධතාව වන්නා සේම ඊට අදාළ තවත් විශේෂත්වයක් වන්නේ එය ලෝකයේ තවත් රටවල් රැසක් වෙත වේගයෙන් පැතිර යාමයි. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට රටවල් 40 කට ආසන්න සංඛ්‍යාවක මෙම සිද්ධිය පසුබිම් කරගෙන විරෝධතා පවත්වා තිබේ. ඇන්ටාක්ටිකාව හැර සෑම මහාද්වීපයකම වාගේ මෙම විරෝධතා පැවැති බැව් සඳහන් වේ. මේ අතරින් ප්‍රංශය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව වැනි රටවල පැවැති විරෝධතා ගැන විශේෂ අවධානයක් යොමුව තිබෙනු ද දැකිය හැකි විය. ප්‍රංශ ජනතාව ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් විරෝධය දක්වන අතරම ඔවුන්ගේ රටේ සිදු වූ ඊට බෙහෙවින් සමාන මරණයක් සම්බන්ධයෙන් ද මෙහි දී විරෝධය දැක්වීමට පියවර ගත්හ. ඒ 2016 වසරේ සිදු වූ ඇඩමා ට්‍රඕරේ නැමැති 24 හැවිරිදි කළු ජාතික තරුණයාගේ මරණයයි. ට්‍රඕරේගේ මරණය සිදුව තිබුණේ පොලිස් නිලධාරීන් ඔහුගේ හැඳුනුම්පත පරීක්‍ෂා කිරීමට ගිය අවස්ථාවක ඇති වූ සිද්ධියක් නිසා ය. එම අවස්ථාවේ හැඳුනුම්පත ඔහු ළඟ නොතිබුණෙන් ට්‍රඕරේ පලාගොස් ඒ අසල නිවසක සැඟවී තිබේ. ඔහු ලුහුබැඳ ගිය පොලිසිය ට්‍රඕරේ අල්ලා ගෙන ඇති අතර නිලධාරීන් තිදෙනෙකු ඔහුගේ සිරුර මත නැගී ඔහු බිමට තද කරගෙන සිට ඇතැයි සඳහන් වේ. ඒ ආකාරයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් වාහනයක දමාගෙන පොලිස් ස්ථානය වෙත ගෙනැවිත් ඇති අතර එහි දී ඔහු මරණයට පත්ව තිබිණි. ට්‍රඕරේ මිය යන්නට ඇත්තේ හුස්ම හිරවීමෙන් යයි බොහෝ දෙනෙකු විශ්වාස කළත් නිල වාර්තාවල සඳහන් වූයේ මරණයට හේතුව හෘදයාබාධයක් කියා ය. පසුගිය මැයි 29 වැනි දින නිකුත් වූ අලුත් වාර්තාවකින් මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් නිදහස් කොට තිබීම නැවතත් ජනතාව අතර විශාල ආවේගයක් ඇති කිරීමට හේතු වී තිබිණි. ඔවුන් දහස් ගණනින් වීදි බසිමින් විරෝධතා දැක්වීමට පටන් ගත්තේ ෆ්ලොයිඩ්ගේ මරණයත්, ඊට සමාන ආකාරයෙන් සිදු වූ ට්‍රඕරේගේ මරණයත් කේන්‍ද්‍ර කරගනිමිනි. පැරිසිය ඇතුළු නගර රැසක මෙම විරෝධතා පැවැති බව මාධ්‍ය වාර්තා කර තිබිණි. සුදු ජාතිකයින් බහුතරයක් වෙසෙන යුරෝපා රටවල කළු ජාතික ජනයාට එරෙහිව දැන් දීර්ඝ කාලයක සිටම ජාතිවාදී හිංසනයන් ක්‍රියාත්මක වන බව රහසක් නොවේ. අතිශයින් කෲර ආකාරයෙන් සිදු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණයත් සමගම යුරෝපා රටවල් රැසක විරෝධයේ ගිනි පුළිඟු පැන නැගුණේ මෙම පසුබිම නිසා ය. බ්‍රිතාන්‍යයේ පැන නැගුණු විරෝධතාවන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්තරා මහාචාර්යවරයෙකු අපූරු ප්‍රකාශයක් කර තිබිණි. ‘අපේ කළු ජාතික ජනයාට ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය ඈත රටක සිදුවූවක් හැටියට දැනෙන්නේ නැහැ.’ යයි ඔහු පවසයි. සැබැවින්ම ඔවුන්ට ජෝර්ජ් ෆ්ලොයිඩ් යනු තමුන්ගෙන් දුරස්ථ චරිතයක් නොවේ. ‘ඔහු මගේම පියා විය හැකියි. මගේම සහෝදරයා විය හැකියි. මෙය ඇමරිකාවේ සිදු වූ සිද්ධියක් හැටියට අපට දැනෙන්නේ නැහැ. එය මේ රටේ දී අප කාට වුවත් සිදුවිය හැකි සිද්ධියක්’ මහාචාර්යවරයා පෙන්වා දී තිබිණි. යුරෝපයේ බොහෝ රටවල විරෝධතා පැතිර යාමට හේතුව ෆ්ලොයිඩ්ගේ මරණය එම රටවල ද ජීවත්වන ඕනෑම කළු ජාතිකයෙකුට අත් විඳින්නට සිදුවිය හැකි ආකාරයේ මරණයක් වීමයි. බ්‍රිතාන්‍යය තුළ පොලිස් පරීක්‍ෂා කිරීම්වලට, සිරගත කිරීම්වලට, අත්අඩංගුවේ දී මියයාමට ලක්වන කළු ජාතිකයින්ගේ සංඛ්‍යාව ඔවුන්ගේ ජන සංඛ්‍යාවට සාපේක්‍ෂව ඉතා ඉහළ අගයක් ගන්නා බව බොහෝ සමීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ. ඇතැම් සංඛ්‍යාලේඛනවලට අනුව 2018-2019 වසරවල එරට සුදු ජාතිකයින් පොලිස් පරීක්‍ෂා කිරීම්වලට ලක්ව ඇත්තේ 1000 කට 4 දෙනෙකු වශයෙන් වුවත් කළු ජාතිකයින් සම්බන්ධයෙන් එම අනුපාතය 1000 කට 38 කි. මෙවැනි තත්ත්වයක් පෙන්නුම් කරන්නේ බ්‍රිතාන්‍යයේ කළු ජාතිකයින්ගේ ප්‍රතිශතය සමස්ත ජනගහනයෙන් සියයට 3 ක් පමණක් ව තිබියදී ය. 2010-2019 අතර එංගලන්තය සහ වේල්සය තුළ පොලිස් අත්අඩංගුවේ දී මියගිය සංඛ්‍යාව 1,741 ක් බව සමීක්‍ෂණයකින් හෙළි වී තිබිණි. මේ අතරින් කළු ජාතිකයින්, ආසියාතිකයින් ඇතුළු සුළු ජාතිකයින්ගේ මරණ සංඛ්‍යාව සෙසු අයගේ මරණ සංඛ්‍යාව මෙන් දෙගුණයක් පමණ වන බව ද එහි දී හෙළි වී ඇත. සුළු ජාතිකයින් අතරින් මෙවැනි මරණවලට වැඩි වශයෙන් ම ගොදුරු වන්නේ කළු ජාතික තරුණයින් බව ද පෙනී ගොස් තිබේ. ඇමෙරිකාව තුළ සිදු වූ ජෝර්ජ් ෆ්ලොයිඩිගේ මරණයෙහි කම්පනය බ්‍රිතාන්‍යය වැනි රටවලට ද මෙතරම් දැඩි ආකාරයෙන් දැනෙන්නේ මන්ද යන්න මේ අනුව සිතාගත හැකිය. විරෝධතා උණුසුම් ආකාරයෙන් පැතිරෙන්නට පටන් ගත් තවත් රටක් වූයේ ඕස්ට්‍රේලියාවයි. එහි මෙම විරෝධතාවන්හි පෙරමුණේ සිටියේ එරට සුළු ජන කොටසක් වන ඇබොරිජින් ජනතාවයි. ඕස්ට්‍රේලියාවේ ආදි වාසී ජනකොටසක් වන ඇබොරිජින් ජනයා ද දැන් කාලයක සිටම මෙවැනි අසාධාරණයන්ට ලක් වෙමින් සිටින ජන කොට්ඨාසයකි. ඕස්ට්‍රේලියාවේ මෙල්බන්, සිඩ්නි, බ්‍රිස්බේන්, හෝබාර්ට්, ඇඩිලේඩ් වැනි නගරවල වැඩි වශයෙන් විරෝධතා පැවැති බැව් වාර්තා වෙයි. ජාතිවාදයට එරෙහිව මෑත කාලයේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වුණු විශාලම විරෝධතා ව්‍යාපාරය මෙය බැව් ඇතැම් මාධ්‍ය සඳහන් කර තිබිණි. අන් රටවල දී මෙන්ම මෙහිදී ද බොහෝ විරෝධතාකරුවන්ගේ මුවග තිබූ සටන් පාඨයක් වූයේ ‘මට හුස්ම ගන්න බෑ’ යන්නයි. ඇමෙරිකාවේ ඩෙරික් චෝවින් නමැති සුදු ජාතික පොලිස් නිලධාරියා ඔහුගේ දණහිසෙන් සිය ගෙල තද කරගෙන සිටිය දී ජෝර්ජ් ෆ්ලෝයිඩ් එසේ කියමින් බැගෑපත් වූ බැව් මේ වනවිට ප්‍රසිද්ධ කාරණයකි. නමුත් 2015 වසරේ ඕස්ට්‍රේලියාවේ සිරගෙදරක දී මියගිය ඇබොරිජින් පුද්ගලයෙකු ද මේ ආකාරයෙන්ම පවසා තිබේ. ඬේවිඩ් ඩන්ගේ නමැති මෙම තැනැත්තා ඒ වනවිට රඳවා සිටියේ ලෝංග් නමැති බන්ධනාගාරයේ යි. ඔහු බිස්කට් වගයක් අනුභව කිරීම නතර නොකිරීම නිසා බන්ධනාගාර නිලධාරීන් පස් දෙනෙකු ඔහු වෙත කඩා පැන ඔහු අල්ලා බිමට තදකරගෙන සිට ඇතැයි සඳහන් විය. එම අවස්ථාවේ ඩන්ගේ ද තමාට හුස්ම ගැනීමට නොහැකි බැව් 12 වතාවක් පවසා ඇති බව ඔහුගේ මරණය පිළිබඳ විමර්ශනවලදී අනාවරණය වී තිබිණි. පොලිස් අත්අඩංගුවේ දී ඇබොරිජින් පුද්ගලයින් විශාල වශයෙන් මිය යාම දැන් කාලයක සිටම අවධානයට ලක් වෙමින් ඇති ගැටලුවකි. ඕස්ට්‍රේලියාවේ ඇබොරිජින් ජනයා සමස්ත ජනගහනයෙන් සියයට 3 ක් පමණක් වුවත් එයින් සියයට 30 ක් පමණ සිටින්නේ බන්ධනාගාරවල බැව් මෑතක මාධ්‍ය වාර්තාවක සඳහන් වී තිබිණි. මෙවැනි තත්ත්වයන් බොහෝ දෙනා සලකන්නේ එරට ඇබොරිජින් ජනයා සම්බන්ධයෙන් පවතින ජාතිවාදී සැලකිල්ල පිලිබිඹු කරන තත්ත්වයන් වශයෙනි. ඇමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් සිද්ධියත් සමග දැන් නැවතත් පණ ලබා ඇත්තේ දීර්ඝ කාලයක් තිස්සේ මෙවැනි තත්ත්වයන් නිසා ඕස්ට්‍රේලියාවේ ආදිවාසී ජනතාව තුළ පැසවමින් පැවැති විරෝධයයි.
 

More News..