brand logo

වියට්නාමයේ සහ ශ‍්‍රී ලංකාවේ රටින් පිට ආණ්ඩු

30 August 2018

වියට්නාම් යුද්ධ සමයේ ඇමරිකාව විසින් පිහිටුවා තිබුණු දකුණු වියට්නාම් මිලිටරි ආණ්ඩුවට විරෝධය පාමින් පෙළ පාළි ගිය ප‍්‍රධාන රට ශ‍්‍රී ලංකාවයි. ඒ ඉතිහාසය දන්නා තැනැත්තෙකුට අදට වඩා එදා ලංකාව තුළ සිංහල බෞද්ධයන්ගේ එකමුතුකමක් හෝ බලයක් තිබුණ බව වැටහේ. වියට්නාම් යුද්ධය අවසන් වූයේ උතුරු දකුණු වියට්නාම් රටවල් එක්සත් වී කොමියුනිස්ට් වියට්නාමයක් බිහිවීමෙනි. එම රජය, රජයේ කටයුතුවලට බුදු සසුන සම්බන්ධකර නොගත්තාය. එහි ප‍්‍රතිඵලය වූයේ වියට්නාමයේ බුදුසසුන බිඳ වැටීමයි. වියට්නාමයේ මෙන් කොමියුනිස්ට් රජයක් ඇති නොවුනද කොමියුනිස්ට් පක්ෂ සම්බන්ධ වූ සභාග ආණ්ඩු ශ‍්‍රී ලංකාවේ ඇතිවිය. එය තරුණ පරපුර මාක්ස්වාදී ව්‍යාපාරයන් වෙත ඇදී යාමට එය එක් හේතුවකි. මේ හැම කාරණයකින්ම සිදුවූයේ වියට්නාමය හා ශ‍්‍රී ලංකාව අතර සබඳතා රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතුවලට පමණක් සීමා වීමයි. වියට්නාම් යුද්ධය අවසාන සමයේ දකුණු වියට්නාමයේ උසස් නිලතල දැරූ විශාල පිරිසක් ඇමරිකාවට පලා ගියහ. මොවුන්ගෙන් වැඩි පිරිසක් කැලිපෝර්නියා ප‍්‍රාන්තයේ පදිංචි වූහ. එයින් පිරිසක්  'වියට්නාම් ප්‍රොවිෂනල් නැෂනල් ගවර්න්මන්ට්' (පී.ඇන්.සී.වී.) නමින් සංවිධානයක් පිහිටුවා ගත්හ. මෙය රටවල් කිහිපයක ශාඛා පිහිටුවාගෙන ක‍්‍රියාත්මක වන්නකි. ඔවුන් පුවත්පත් පවා ප‍්‍රකාශයට පත් කරයි. වියට්නාම් ජනරජය, රටින් බැහැරව ක‍්‍රියාත්මක පී.ඇන්.සී.වී. ත‍්‍රස්තවාදී සංවිධානයක් සේ සලකයි. පසුගිය කාලයේ වියට්නාම් පොලිසියරටට පැමිණ සිටි පී.ඇන්.සී.වී. සංවිධානයේ ක‍්‍රියාකාරිකයන් පිරිසක් අත් අඩංගුවට ගත්තේය. ඔවුන් සම්බන්ධව පැවැත්වූ නඩු විභාගයේ තීන්දුව පසුගිය සතියේ ප‍්‍රකාශයට පත්කරන ලදි. ද`ඩුවම් ලැබූවන් අතර ඇමරිකානු වියට්නාම් ජාතිකයෝ දෙදෙනෙක් සිටිති. යුද්ධයෙන් ඇමරිකාව පරාජය කිරීමට වියට්නාම් වැසියෝ සමත් වූහ. මේ සඳහා මිලියන දෙකකට වැඩි වියට්නාම් වැසියන් පිරිසකට දිවි දීමට සිදුවිය. ඊට වඩා දරුණු විපත ඇමරිකානු හමුදා වියට්නාමයට හෙලූ නාපාම් වැනි විෂ බෝම්බවලින් භූමියට හා පරිසරයට සිදුවූහානියයි. යුද්ධයට පෙර වියට්නාමය ගොවියන්ගේ රටකි. වියට්නාම් ජාතිකයින් ගොවිතැන් කළේ මීහරකුන්ගේ ආධාරයෙනි. එමනිසා වියට්නාම් ජීවිතය මීහරකුන් සමග බැදී තිබුණි. මීහරකුන් සංහාරය කිරීම වියට්නාම්වරුන් මර්දනය කිරීම සඳහා ඇමරිකාව භාවිතා කළ එක උපක‍්‍රමයකි. 1816 -17 අවුරුදුවල සිදුවූ උඩරට කැරැල්ල මර්දනය කිරීමට වෙහෙසුන බි‍්‍රතාන්‍ය හමුදාව ගවයින් මරමින් උඩරැටියන්ගේ ගවසම්පත සම්පූර්ණයෙන්ම විනාශ කළ බව කියවේ. ඉතා සරල ගොවි සමාජයක් පැවතුන අතිශයින් දරුණු යුද්ධයකට හසුවී බිමටම වැටුණු වියට්නාමය කෙටි කාලයත් තුළ ලබා ඇත්තේ ඇදහිය නොහැකි ආර්ථික දියුණුවකි. රටට ශක්තිමත් හමුදාවක් තිබේ. මේ මොන බලය ඇතත් ඇමරිකාවේ ක‍්‍රියාත්මක පී.ඇන්.සී.වී.සංවිධානය ගැන වියට්නාම් රජය ඇස ගසාගෙන සිටී. ශ‍්‍රී ලංකා රජය ලෝකයේ බලගතුම ත‍්‍රස්තවාදී සංවිධානය වශයෙන් පිළිගැනුන එල්.ටී.ටී.ඊය  පැරදවීමද විස්මිත ක‍්‍රියාවකි. යුද්ධය අතරම ත‍්‍රස්තවාදී සංවිධානයේ සමාජිකයින් පිරිසක් ශ‍්‍රී ලංකාවෙන් පිට ඊළාම් ආණ්ඩුවක් පිහිටුවූහ. ඊට අමතරව ශ‍්‍රී ලංකා රජයට විරුද්ධව විදේශවල සිට ක‍්‍රියාකරන දෙමළ ඩයස්පෝරාව නමින් ප‍්‍රබල සංවිධානයක් ගොඩනැගූහ. ශ‍්‍රී ලංකාව එ.ජා. සංවිධානයේ මානව හිමිකම් කොමිසම නමැති ද`ඩුකඳේ ගැසීමට මොවුන්ට හැකිවිය. යුද්ධයෙන් පසුව ශ‍්‍රී ලංකාවේ සංවර්ධනයක් ප‍්‍රදර්ශනය වූ නමුත් දැන් ඇත්තේ හැම දේකම කඩා වැටීමකි. රුපියලේ අගය මාස් පතා පහළ වැටේ. රුපියලේ වැටීමට වඩා භයානක, ශ‍්‍රී ලංකා රජයට විරුද්ධව පිටරට සිට ක‍්‍රියාත්මක වූ සංවිධානවලට ශ‍්‍රී ලංකාව තුළ බඩපිනුම් ගැසීමට හැකියාව ලැබීමයි. මෙහි ප‍්‍රතිඵලය අනාගතයේ රටේ ජීවත් වන සියලූ දෙනාටම විඳවන්නට සිදුවීමයි. ඬේවිඞ් ඇන්තනී
 

More News..