brand logo

විමල් වීරවංශ අමාත්‍යවරයා ජනතාවගෙන් සමාව ගත යුතුයි

08 February 2021

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දිය යුතු බවට විමල් වීරවංශ අමාත්‍යවරයා පුවත්පතකට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු ජනතාවගෙන් සමාව ගත යුතු බව පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා පවසයි. පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා මේ බව ප්‍රකාශ කළේ අද (08) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. " විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රකාශයක් කරලා තියෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායකත්වයෙන් ඉවත් කොට, එය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදිය යුතුයි කියලා. මං හිතන්නේ විමල් වීරවංශ මහත්තයා දැනගන්න ඕනෙ මේක එතුමගේ පක්ෂෙත් නෙමෙයි. එතුමට අපේ පක්ෂය සම්බන්ධයෙන් කිසිදු තීන්දු තීරණ ගැනීමේ අයිතියකුත් නැහැ. ඒ වගේ ප්‍රකාශයක් කරන්නවත් එතුමට අයිතියක් නෑ. ඒ නායකත්වය සම්බන්ධයෙන්, එතුමා කරපු ප්‍රකාශයට එතුමා ජනතාවගෙන් සමාව ඉල්ලා වහා ඉල්ලා අස්කර ගත යුතුයි කියන තැන පක්ෂයක් හැටියට අපි ඉන්නවා. මොකද එතුමට කිසිදු අයිතියක් නෑ, අපේ පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් එවැනි ප්‍රකාශයක් කරන්න. ඒ වගේම අපි පක්ෂයක් හැටියට ඉතාම කණගාටු වෙනවා අපේ සන්ධානයට එකතු වෙලා ඉන්න අපේ සහෝදර පක්ෂයක නායකයෙක් හැටියට මේ වගේ පල්ලෙහා තත්ත්වයේ ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන්. විමල් වීරවංශ මහතා මේ රජයේ සාමූහිකත්ව වගකීම දරණ කැබිනට් අමාත්‍යවරයෙකු හැටියට ඉදගෙන මේ වගේ තුන්වැනි පන්තියේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් අපි ඉතාම කණගාටුව ප්‍රකාශ කරනවා. අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා ජනතාවගෙන් සමාව ඉල්ලන්න කියලා."
 

More News..