brand logo

විමල්ට එරෙහි නඩු විභාගයට දින තීන්දුයි

12 February 2020

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ කාල සීමාව තුළ රුපියල් මිලියන 75 කට අධික වත්කම් හා මුදල් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා එල්ල වී සිටින අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 07 වනදා ආරම්භ කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද(12) නියෝග කළේය. ඒ අනුව එදින සාක්ෂි දීම සඳහා නඩුවේ සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසද විනිසුරුවරයා විසින් නියෝග කරන ලදී. මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර විමල් වීරවංශ අමාත්‍යවරයා අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා අමාත්‍යවරුන්ගේ විශේෂ රැස්වීමකට සහභාගී වන හෙයින් අද දින අධිකරණයේ පෙනී නොසිටින බවයි. එහෙත් මීළඟ දින ඔහු අධිකරණය හමුවේ පෙනී සිටින බව ද නීතිඥවරයා සඳහන් කළේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා නඩුව සැප්තැම්බර් මස 7 වනදා සහ 09 වනදා යන දිනවල විභාගයට ගැනීමට තීන්දු කළේය. 2009 වසරේ ජනවාරි මස පළවනදා සිට 2014 වසරේ දෙසැම්බර් මස 31 වන දා දක්වා කාලසීමාව තුළ රජයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය නීත්‍යානුකූල වැටුප් සහ ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ඉකුත් රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණි. හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් සිදු කළ බව කියන ඉඩම් මිලදී ගැනීමක් හා නිවසක් තැනීම, වාහනයක් මිලදී ගැනීම සහ මුල්‍ය ගනුදෙනු 26 ක් මුල්කරගෙන මෙම නඩුව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබේ. අධිකරණ වාර්තාකරු
 

More News..