brand logo

විමල්ට එරෙහි නඩුව නැවත විභාගය ඔක්තෝබර් 02 වැනිදා

28 August 2019

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ අවධියේ සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබෙන ලේඛන උත්පාදනය කළ පරිගණක පද්ධති පරික්ෂා කර අදාළ ලේඛන හා පරිගනක පද්ධතියේ සඳහන් දත්ත අතර යම් වෙනස්කමක් තිබේනම් එය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහාධිකරණය විසින් විත්තිකාර විමල් වීරවංශ මහතාගේ නීතිඥවරුන්ට නියෝග කළේය. මෙම නඩුව අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරනය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබෙන ලේඛන උත්පාදනය කළ පරිගණක පද්ධති පරික්ෂා කිරීම සඳහා තමන් වෙත අවස්ථාව ලබාදී තිබුණද එම පරිගණක පද්ධති වලට අදාල ලේඛණ පරික්ෂා කිරීමට අවස්ථාව ලැබී නොමැති බව දැනුම් දුන්හ. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු සැල කරමින් සාක්ෂි විශේෂ විධිවිධාන පනතට අනුව මෙම නඩුවට පාදක වී තිබෙන ලේඛන උත්පාදනය කළ පරිගණක පද්ධතියට ප්‍රවේශ වීමට පමණක් විත්තියට අවස්ථාව සලසා දිය හැකි බවත් ඊට පාදක වන ලේඛන පරීක්ෂා කිරීමට හැකියාවක් නොමැති බව සිටියේය. මෙහිදී විත්තියේ නීතිඥවරු ඇමතූ විනිසුරු හෙට්ටිආරච්චි මහතා නඩුවට පාදක වන ලේඛන උත්පාදනය කළ පරිගණක පද්ධති මුලින්ම පරික්ෂා කරන ලෙසත් එම පරිගණක පද්ධතියේ අඩංගු දත්ත සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබෙන ලේඛන අතර යම් වෙනස්කමක් තිබේ නම් ඒ පිළිබඳව ඉදිරියේ දී අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස දැනුම් දුන්නේය. අනතුරුව මෙම කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම සඳහා නඩුව නැවත ඔක්තෝබර් මස 02 වනදා කැඳවීමට ද නියෝග කෙරිණි. 2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ රජයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය නීත්‍යනුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගැනීම මගින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබේ. අධිකරණ වාර්තාකරු
 

More News..