brand logo

විමල්ට එරෙහි නඩුවක් කැදවන්න දින නියම කෙරේ

02 October 2019

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ කාල සීමාව තුළ අයථා ලෙස රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගත් බවට චෝදනා කරමින් හිටපු ඇමති සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් නොවැම්බර් මස 27 වනදා කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් අද (02)නියෝග කරන ලදී. නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහුගේ නීතිඥවරු අධිකරණයට කරුණු දක්වමින් තම සේවාදායකයා අසනීප තත්ත්වයකින් පසුවන හෙයින් අධිකරණය හමුවේ පෙනී නොසිටින බවත් ඊළඟ දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමට පියවර ගන්නා බවත් දන්වා සිටියහ. ඒ අනුව නඩුව නැවත නොවැම්බර් මස 27 වනදා කැඳවීමට පියවර ගන්නා ලෙස නියෝග කළ විනිසුරුවරයා එදින විත්තිකරුගේ අසනීප තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද විත්තියේ නීතිඥ වරයාට නියෝග කළේය. 2010 වසරේ සිට 2014 වසරේ සැම්බර් මස 31 දක්වා කාලසීමාව තුළ රජයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය නීත්‍යනුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කර විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ. අධිකරණ වාර්තාකරු
 

More News..