brand logo

විපතට පත් ජනතාවගේ සහන කටයුතු සොයා බැලීමට ජනපති අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ නිරීක්ෂණ චාරිකාවක

23 December 2019

අධික වැසි සමඟ හටගත් ජල ගැලීම්වලින් විපතට පත්වූවන්ට සහන සැලසීම පිළිබඳව සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (23) අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ ස්ථාන කිහියක නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි. අද පෙරවරුවේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේ දී දේශපාලන බලධාරීන් සහ රාජ්‍ය නිලධාරින් හමු වු ජනාධිපතිතුමා සහන වැඩපිළිවෙළ විමර්ශනය කළේය. අවතැන්වූවන් වෙනුවෙන් ක්‍රියාත්මක සුබසාධන වැඩපිළිවෙළ කඩිනම්ව හා අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය. “අදාළ සහන කටයුතු අදියර දෙකක් යටතේ ක්‍රියාවට නංවා තිබේ. ආපදා අවස්ථාවේ දී ලබාදිය යුතු සහන පිළිබඳ මෙන්ම ආපදාව පහව යාමෙන් අනතුරුව ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ ඊට අයත්” මේ කටයුතුවලදි රජය ඉතා වගකීමෙන් ක්‍රියා කරන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22 න් 10කට ආපදා තත්ත්වය බලපා ඇත. දෙසැම්බර් 20වනදා සිට අද දක්වා පවුල් 1561ක සාමාජිකයෝ 5181 දෙනෙක් විපතට පත්ව සිටිති. ඉන් පවුල් 937ක සාමාජිකයන් 2923 දෙනෙකු ආරක්ෂිත ස්ථානවලට යොමු කර තිබේ. ඔවුනට පිසූ ආහාර මෙන්ම, වියළි ආහාර ද සපයනු ලැබේ. නිවාසවලට සිදුව ඇති හානි පිළිබඳ සොයා බලා වහා ක්‍රියාකිරිමට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. ආපදා තත්ත්වය පහව ගොස් ඇති ප්‍රදේශවල නිවාස පිරිසිදු කිරීම දැනටමත් ආරම්භ කර තිබේ. ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් පිළිබඳව සොයා බැලිමට ද උපදෙස් දෙනු ලැබිණ. විනාශ වී ඇති වැව් අමුණු ප්‍රතිසංස්කරණය සහ මහාමාර්ග හා ඇල මාර්ග ඇතුළු යටිතල පහසුකම් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු විය. වගාවන්ට සිදුව ඇති හානි පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නැයි ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දුන්නේය. එස්.එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, ෂෙශාන් සේමසිංහ යන අමාත්‍යවරු ද, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරකුමාර දිසානායක, එස්.සී. මුතුකුමාරණ, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න යන මහත්වරු සහ රාජ්‍ය නිලධාරීහු ත්‍රිවිධ හමුදා, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු සාකච්ඡාවට එක්ව සිටියහ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද අවතැන් වූවන් රඳවා සිටින මධ්‍යස්ථාන කිහිපයකට ද ගොස් ඔවුන් හමුවීමට නියමිතය. එතුමා රාජාංගනය යාය 02 දුටුගැමුණු විහාරයේ දී සහ යාය 09 බෝධිරාජරාම විහාරයේ දී ජනතාව හමුවී ඔවුන්ගේ සුබසාධනය ගැන සොයා බලනු ඇත. හදිසි ආපදාවෙන් විපතට පත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ගෙන යන සහන වැඩපිළිවෙළ සහ ඉදිරි කටයුතු පිළිබද සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි පැවැත්වේ. ඉන් අනතුරුව විපතට පත් ජනතාව රැඳී සිටින ඇලැහැර ප්‍රදේශයේ සුබසාධන මධ්‍යස්ථාන කිහිපයක් නිරීක්ෂණයට කිරීමට ජනාධිපතිතුමා එක් වෙයි.
 

More News..