brand logo

විපක්ෂයෙන් පරිසර බළකායක් ස්ථාපිත කරයි

17 September 2020

"ජාතික පරිසර සංරක්ෂණ වගකීම’ නමින් ජාතික හරිත ව්‍යාපාරයක් ක්‍රියාත්මක කෙරෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය. මෙම හරිත ඒකකය ස්ථාපිත කිරීම පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඊයේ (16 වැනිදා) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. හරිත ඒකකයක් ස්ථාපිත කිරීම ද එහිදී සිදු කෙරුණි. විපක්ෂ නායකවරයා මෙසේද අදහස් දැක්වීය. ‘‘16 වැනිදා ඕසෝන් ස්ථරය සුරැකීමේ ජාත්‍යන්තර දිනය. එවන් දිනයක ජාතික සමගි ජන බලවේගය තීන්දු කළා මෙම හරිත ඒකකයක් විපක්ෂ නායක කාර්යාලය තුළ ස්ථාපනය කරන්න. හරිත ඒකකයක් ස්ථාපිත කරනවා පමණක් නොමෙයි ජාතික හරිත ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමේ ගමන, පරිසරය ආරක්ෂා කිරීමේ ගමන හා වන වෘක්ෂලතා සංරක්ෂණය කිරීමේ ගමන දේශපාලන පක්ෂයක් වශයෙන් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අපි ආරම්භ කරනවා. අපේ මෙම වැඩසටහන හඳුන්වන්නේ ජාතික පරිසර සංරක්ෂණ වගකීම හැටියට. විපක්ෂ නායක කාර්යාලයේ හරිත ඒකකයක් ස්ථාපිත කරමින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම් ලත් පරිසර බළකායක් අපි හැදුවා. ඒ පරිසර බළකායේ සාමාජිකයන් හතර දෙනෙක් මේ ස්ථානයේ සිටිනවා. ඒ මම, රෝහිණී කවිරත්න, මයන්ත දිසානායක සහ නලින් බණ්ඩාරයි. අපේ පස්වෙනි සාමාජිකයා තමයි බුද්ධික පතිරණ මහතා. අපේ හරිත ඒකකය මගින් ප්‍රජා සහභාගීත්ව, වන සංරක්ෂණ, වනජීවි වෘක්ෂලතා සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මේ සංරක්ෂණ වැඩපිළිවෙළට සෘජුවම මේ රටේ පුරවැසි ප්‍රජාව සම්බන්ධයි. ඒ වගේම තීන්දු තීරණ ගන්නා සභාවල හඬක් නොමැති පරිසරයටත් අපි ඉහළම වටිනාකම ලබාදීලා ජනතාවත්, පරිසරයත් කේන්ද්‍ර කරගෙන අපේ ජාතික පරිසර සංරක්ෂණ වගකීම ක්‍රියාත්මක කරනවා. රට බලාපොරොත්තු වුණේ විධිමත් පරිසර තාක්ෂණ වැඩපිළිවෙළක් සහ විධිමත් යාන්ත්‍රණයක්. නමුත් අද මේ ක්‍රියාත්මක යාන්ත්‍රණය විධිමත් භාවයකින් තොරව අවිධිමත් එකක්. පරිසර අමාත්‍යවරයා ලෙස එක කැබිනට් ඇමැතිවරයෙක් ඉන්නවා. ඔහු යටතේ පරිසර අධිකාරිය හා භූ විද්‍යා සහ පතල් කර්මාන්ත ඒකකය තියෙනවා. ඊට අමතරව වනජීවි සහ වන සංරක්ෂණ කැබිනට් ඇමැතිවරයෙක්. ඔහුට ගැසට් වෙනවා දැව සංස්ථාව. මේ දෙකටම අමතරව පතල් ක්ෂේත්‍රය පිළිබඳ රාජ්‍ය ඇමැතිවරයෙක් ඉන්නවා. එතුමාට ගැසට් වෙනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත්, වනජීවි දෙපාර්තමේන්තුවත්. මේ කොටස් තුන ඇතුළුව තවත් කොටස් ගණනාවක් තියෙනවා පරසර ක්ෂේත්‍රය සම්බන්ධව. මේ හැම දෙයක්ම තියෙන්න ඕනෑ එක තැනක.’’ නයන තරංග ගමගේ
 

More News..