brand logo

විනාඩි 20 න් කොවිඩ් හඳුනාගන්න අලුත් පරික්ෂාවක්

05 November 2020

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති ක්ෂණික ප්‍රතිදේශ පරීක්ෂණ මගින් කොවිඩ් -19 ආසාදිතයන් සෙවීම ලබන සතියේ සිට දිවයින පුරා ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර සහ ප්‍රතික්‍රීයක කට්ටල ලක්ෂ දෙකක් පළමු අදියර යටතේ මෙරටට ගෙන්වා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය සඳහන් කරයි. විනාඩි විස්සක් වැනි කාලයකදී කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීමට මෙම පරීක්ෂණයෙන් අවස්ථාව ලැබෙන බව අමාත්‍යාංශයේ රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ ප්‍රතික්‍රීයක කට්ටල දෙකක් අනුමත කර ඇති අතර එම කට්ටල පමණක් ශ්‍රී ලංකාවට ආනයනය කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර පවසයි. මෙහිදී කිසියම් පිරිසකට රෝග කාරකය වැලඳී ඇත්දැයි යන්න විමර්ශනය කර රෝගීන් හඳුනා ගැනීම කරයි. හඳුනාගන්නා රෝගියා ඉන්පසු පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කරන බවද ඔහු කියා සිටියේය. මෙම ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ ප්‍රතික්‍රීයක කට්ටලයක මිල රුපියල් 1200 ක් වෙයි. ඉදිරියේදී එවැනි කට්ටල ලක්ෂ දහයක් පමණ මෙරටට ගෙන්වීමට අමාත්‍යාංශය අවධානය යොමුකර තිබේ. මෙම පරීක්ෂණ පෞද්ගලික රෝහල්වලදී අද (05 වැනිදා) සිට ආරම්භ කෙරේ. ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කරන ආකාරය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරින් විසින් රසායනාගාර සේවාවට අයත් වෘත්තිකයන් සූම් තාක්ෂණය භාවිත කරමින් පෙරේදා (3 වැනිදා) දැනුවත් කර ඇත. කෙසේ වෙතත් බහුවිධ රසායනාගාර ක්‍රමවේදයක් යටතේ කොවිඩ් ආසාදිතයන් සෙවීම සඳහා පරීක්ෂණ ආරම්භ කරන ලෙස වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයට පසුගිය අප්‍රේල් මස 15 වැනි දින වාර්තාවක් ලබා දෙමින් ඉල්ලා තිබේ. එහිදී පී.සී.ආර්. පරීක්ෂණවලට අමතරව ප්‍රතිදේහ ජනක තාක්ෂණික පරීක්ෂණය හෝ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණය සිදු කරන ලෙස ඉල්ලා තිබේ. තාක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීම සඳහා අවශ්‍ය උපකරණ ගෙන්වීමට විවිධ සමාගම් අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලා සිටියදී අවසානයේ හෝ සුදුසු සමාගමකින් ප්‍රතික්‍රියක කට්ටල ගෙන්වා පරීක්ෂණ ආරම්භ කිරීම පිළිබඳව සතුටට පත්වන බව සංගමයේ සභාපති රවි කුමුදේශ් පවසයි. ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීම සඳහා ජංගම රසායනාගාර ක්‍රමවේදයක්ද ආරම්භ කළ යුතු බව ඔහු අවධාරණය කර සිටියි. උදයජීව ඒකනායක
 

More News..