brand logo

විනාඩි තුනෙන් ඉදලක් හැදූ උනන්දුවාගේ ඉදල් මැෂිම

03 December 2018

‘උනන්දුවා’ උනන්දු වූයේ රාජකාරිය අකුරට ඉටු කරන්නට විතරක්ම නොවෙයි. රාජකාරියට අමතරව දෙයක් වුණත් සොයා බලා එය හොඳින් ඉටු කිරීමේ නිර්මාණශීලී හැකියාව ඔහුට තිබුණා. මේ නිසාම මිතුරන් ඔහුට පටබැඳි නම වූයේ උනන්දුවා යන්නයි. උනන්දුවා හෙවත් කේ.ඒ.සී. කුමාර ශ්‍රී ලංකා යුද හමුදා සංඥා බළකායට ආධුනික සෙබළකු ලෙස එක්වන්නේ 1993 වසරේ. තුන් වසරක් හමුදාවේ හොඳින් රාජකාරි කරන ඔහුගේ අතට වෙඩි වදින්නේ ත්‍රස්තවාදීන් හා සිදුවූ වෙඩි හුවමරුවකදී. ඒ 1996 අවුරුද්දේ අතට වෙඩි වැදුණත් හමුදාවේ රැකියාවට ඔහු තුළ තිබුණේ ගෞරවයක්. ඒ නිසාම ඔහු සුව වූ වහාම යළි රාජකාරි අරඹනවා. ඔහොම මාස කිහිපයක් ගෙවී යමින් තිබුණා. එතකොට ඔහු සේවය කළ මඩකලපුව කින්නිඅඩි යුද හමුදා කඳවුරේ. එහිදී උනන්දුවා ඇතුළු සෙබළුන්ට උදේම පැවරෙන රාජකාරියක් තමයි කින්නිඅඩි කඳවුරේ ඉඳලා වෝටමාවඩි නගරය දක්වා වූ මාර්ග පරීක්ෂාව මගදෙපස බිම් බෝම්බ පරීක්ෂාව තමයි ඔවුන්ට අයත් රාජකාරිය වුණේ. එදා උදෑසනත් උනන්දුවා ඇතුළු සෙබළ කණ්ඩායම නියමිත රාජකාරියට එක්වුණා. රේක්කයක් ආධාරයෙන් මග දෙපස සෝදිසි කරගෙන ඉදිරියට එද්දී උනන්දුවා ළඟින්ම බිම් බෝම්බයක් පුපුරා ගියා. අඩි කිහිපයක් උඩ විසිවුණු උනන්දුවා බිම වැටෙන්නේ වම් පාදයට බරපතළ තුවාල සිදුවෙද්දී. උනන්දුවාට එකවරම මතක් වෙන්නේ තමන්ගේ පෙම්වතිය චන්ද්‍රකාන්තිව. චන්ද්‍රකාන්ති උනන්දුවාගේ ඇවැස්ස නෑනා. එන නිවාඩුවේදී චන්ද්‍රකාන්තිගේත් තමාගේත් මංගල්ලේ ගැන තීන්දුවක් ගන්න නියමිතව තිබුණා. ඒත් දැන් මොනවද වෙන්නේ කියල හිතාගන්න පුළුවන් කමක් උනන්දුවාට තිබුණේ නෑ. කොහොමහරි මඩකලපුව රෝහලටත් එතැනින් ත්‍රිකුණාමලය රෝහලටත් ඇතුළත් කරන උනන්දුවාට දකුණු පාදය අහිමි වෙනවා. ඔහු ඒ බව දැනගත්තේ දින ගණනාවකට පසුවයි. අතක් පයක් නෙවෙයි ජීවිතයම වුණත් රට වෙනුවෙන් පූජා කරන්න තරම් ශක්තියක් උනන්දුවාට තිබුණා. ඔහුට දුකක් තිබුණ නම් තිබුණේ අනාගතය වෙනුවෙන් චන්ද්‍රකාන්තිට දුන් පොරොන්දු ගැන විතරයි. ත්‍රිකුණාමලය රෝහලෙන් සිදු කළ සැත්කමෙන් පස්සේ ඔහුව අනුරාධපුර රෝහලට මාරු කළා. උනන්දුවා දකින චන්ද්‍රකාන්ති හොඳ​ටෝම අඬනවා. තමන්ව අමතක කරන්න කියලා ඔහු කිව්වත් චන්ද්‍රකාන්තිගේ ආදරය ඔහුව තනි නොකරන්න පොරොන්දු දෙනවා. ඒ විදියට තවත් මාස කිහිපයක් ගත වෙනවා. සියල්ලන්ගේ ආශිර්වාදය මැද උනන්දුවා චන්ද්‍රකාන්ති විවාහ කරගෙන, චන්ද්‍රකාන්තිගේ ගම වන වනමල්ගොල්ලෑවේ පදිංචියට එනවා. ඒ වෙද්දී උනන්දුවා අනුරාධපුර යුද හමුදා කඳවු​රේ සේවයට එක්වෙනවා. එහිදී ඔහුගේ රාජකාරි කාලය පැය 24ක්. පැය 24ක නිවාඩුවකින් පසුව තමයි යළි සේවයට යන්නේ. උනන්දුවා ජීවිතය ගැන උනන්දු වෙමින් කළුදොදොල් හදන්න පටන් ගන්නවා. බොරු කකුල දැම්මත් කළු දොදොල් අලෙවි කරන්න බයිසිකලෙන් කඩ ගානේ ගියේ උනන්දුවාමයි. ඒත් මේ බිස්නස් එක මහන්සියේ තරමට ප්‍රතිඵලයක් තිබුණ දෙයක් නෙවෙයි. ඊළඟට ඔහු කඩදාසි බෑග් හදන්න පටන් ගන්නවා. එයත් සාර්ථක වෙන්නේ නෑ. ඔය අතරේ දවසක් ඔහුට ඔහුගේ මිත්‍රයෙක් කියනවා ඉදල් හදන්න ඉගෙන ගන්න කැමැති නම් තමන්ගේ පියා ඊට උදව් කරාවි කියලා. උනන්දුවා ඊළඟ දවසෙම ඔහු හමුවෙන්න යනවා. ඔහුගෙන් ටින් රවුම් දෙකකුත් ඉල්ලගෙන ගෙදර එන ඔහු ඉරටුයි ඉදල් මිටි දෙකකුයි හොයාගෙන ඉදල් දෙකක් හදනවා. ඒ ඉගෙනගත් විදිහට ඉදල් මිටි සවි කිරීමට මිට පොළොවට ගහපු මොහෙතක උනන්දුවාගේ ලොකු පුතා චමල් මහ හඬින් හඬන්නට ගන්නවා. ‘‘මොකක්ද පපුවේ වැදුණා...’’ ඒ තමයි පොඩි එකාගේ උත්තරය.. ගිහින් බැලුවම ඉදලේ පට්ටම ගැලවී ගොස් දරුවාගේ ඇඟේ වැදිලා. මේ විදියට ඉදල් හැදීම අවදානම් බව හිතන උනන්දුවා ඊට විකල්පයක් සෙවිය යුතු යැයි කල්පනා කරනවා. බිම නොගසා මිට ගැසිය හැකි සරල ක්‍රමයක් පුංචි යකඩ කෑල්ලකින් ඔහුම හදාගන්නවා. මේ ව්‍යාපාරය දියුණු වෙන්න ගත්ත කාලේ ආච්චිත් චන්ද්‍රකාන්තිත් හරි හරියට මේ වැඩේට ඔහුට උපකාර කළා. ශක්තියෙන් වැඩි, කැඩුණොත් ඉදලට ඉදලක් දෙන වගකීම එක්ක මාසයකට ඉදල් 150ක් ඔහුට හදන්න පුළුවන් වෙනවා. තවත් පහසුවට මැෂින් එකක් හදනවා. ඒ මැෂින් එක අසාර්ථක වෙච්ච තැන තවත් මැෂින් එකක් හදනවා. දැන් ඒ මැෂින් එකෙන් මාසෙට ඉදල් 600ක් විතර හදාගන්න පුළුවන්. ඔහු මේ මැෂිම හදන්න භාවිත කරන්නේ ඉවත දමන යකඩ කැබැලියි. ඒනිසා ලොකු වියදමක් ගියේ නෑ. ඒත් වැඩ ගන්න පුළුවන් හොඳ මැෂිමක් ඉන් නිර්මාණය වෙනවා. තමන්ගේම ඉඩමේ ගරාජ් එකක් දාන ඔහු වෑල්ඩින් වැඩත් ඉගෙන ගන්නවා. කම්මල් බාස් කෙනකුද සේවයට ගනිමින් කම්මලකුත් එතැනම ආරම්භ කරනවා. පුංචියට වාහන සර්විස් වැඩකුත් පටන් ගන්නේ මේ අතරේ. යුද හමුදා සේවයේ වසර 17ක් සිටි උනන්දුවා 2010 යුද හමුදා සේවයෙන් විශ්‍රාම යන්නේ ව්‍යාපාරය දියුණු කරන්න හිතාගෙන. 2016 කර්මාන්ත අමාත්‍යාංශය මෙහෙයවූ සහසක් නිපැයුම් තරගයේ ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය දිනන්නේ ඔහුගේ විනාඩි 3න් ඉදලක් සාදාගත හැකි ඉදල් මැෂිමයි. විවිධ ආයතන හරහා ස්වයං රැකියා බලාපොරොත්තු අයට ඉදල් හැදීමේ පුහුණුව දෙන ඔහු අද විශාල පිරිසකට උදව් කරනවා. තමන්ගේ ව්‍යාපාර දියුණුවට බට්ටා ලොරියක් ගන්න ඔහු මිත්‍රයකුගේ මග පෙන්වීම මත පරණ යකඩ බඩු එකතු කරන වැඩකුත් පටන් ගන්නවා. දවසක් මුලතිව් ප්‍රදේශයේ යකඩ එකතු කරමින් සිටි ඔහුගේ වම් කකුල පොළඟෙක් විසින් සපා කන්නේ ජීවිතයට තවත් අභියෝගයක් කරමින්. මේ නිසා රෝහල් ගත වූ ඔහුගේ ව්‍යාපාර කටයුතු කඩාවැටෙන්න ගන්නවා. මාස 6කට වඩා සර්ප විෂ හේතුවෙන් ඔහුට සිදුවෙනවා ලෙඩ ඇ​ඳේ ඉන්න . එකතු කරන ලද යකඩ වංචනිකයන් විසින් පැහැරගෙන යන්නේ මේ කාලෙදි. ඒ හින්දම ණය තුරුස්වලටත් උනන්දුවාට මුහුණ දෙන්න වෙනවා. අද වෙන කොට උනන්දුවාගේ ලොකු පුතා නාවික හමුදා සේවයට එක්වෙලා. දුව යාය 2 මහකනදරාව විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. පොඩි පුතු ගමේ ඉස්කෝලෙන් ශිෂ්‍යත්ව විභාගයෙන් උසස් ලෙස සමත්ව ලොකු ඉස්කෝලෙකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. උනන්දුවා මේ වන විට නිර්මාණය කර ඇති තවත් යන්ත්‍ර කිහිපයක් තියෙනවා. ලූනු කොළ කැපීමේ යන්ත්‍රය ඉන් එකක්. ඔහුගේ බලාපොරොත්තුව ඉදල් හදන යන්ත්‍රය විනාඩියකට ඉදලක් හදන තත්ත්වයට වැඩිදියුණු කිරීමයි. ඒ සඳහා හැකියාව ඔහුට තිබෙනවා. ‘‘මට ලියවන පට්ටලයක් තිබුණ නම් විනාඩියකින් එක ඉදලක් හදන්න පුළුවන්. ඊට පස්සේ ඉදල් කොහු හදන්න කැමැති ඕන කෙනෙක් දවසෙන් පුහුණු කරලා මේ මැෂින් එකක් හදා දෙන්නත් පුළුවන්.’’ ජයන්ත සුබසිංහ
 

More News..