brand logo

විධිමත් දුම්රිය සේවයකට සැලැස්මක් සකසයි

01 July 2020

විධිමත් දුම්රිය සේවාවක් පවත්වාගෙන යාම සඳහා සැලැස්මක් සැකසීමට ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයාට තමා උපදෙස් දුන් බව මගී ප්‍රවාහන කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර පවසයි. ඇමැතිවරයා මේ බව පැවසුවේ ඊයේ (30දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයේදී මතුව ඇති ගැටලුවක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. වාර්තා වන පරිදි මෙතෙක් කාලයක් උදෑසන 4.30 ට කොස්ගමින් ගමන් ආරම්භ කොට කැලණි වැලි මාර්ගයේ කොළඹ කොටුවට පැමිණි දුම්රිය මේ වන විට වග දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීම හේතුවෙන් කොස්ගම සිට වග දක්වා වූ දුම්රිය ස්ථාන තුනක මගීන්ට ගමන් අපහසුතා ඇතිවී තිබේ. කොස්ගමින් ආරම්භ විය යුතු මෙම දුම්රිය වග ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට හේතුවී ඇත්තේද දුම්රියේ රියැදුරුට සහ නියාමකවරයාට රාත්‍රී කාලයේ කොස්ගම දුම්රිය ස්ථානයේ නින්දට යාමට පහසුකම් නොමැති නිසා බවද වාර්තාවේ. එබැවින් සවස කොටුවෙන් පිටත් වන දුම්රිය කොස්ගම දක්වා ගමන් කොට නැවත වග දක්වා ගමන් කරන්නේ රියදුරුට සහ නියාමකවරයාට නිදාගැනීමේ පහසුකම් ලබාගැනීම සඳහාය. මෙතෙක් කාලයක් කොස්ගම දුම්රිය ස්ථානයේ විවවේකාගාර භාවිත කළ ඔවුන්ට සති කිහිපයක සිට එම විවේකාගාර භාවිත කිරීමට නොහැකිව ඇත්තේ කොවිඩ් වසංගතය හේතුවෙන් දෙදෙනාටම එකම කාමරයේ නින්දට යාමට නොහැකි නිසා බවද පැවසේ. කෙසේ නමුත් මෙම දුම්රිය වසර ගණනාවක සිට කොස්ගමින් ගමන් ආරම්භ කළ අතර දිනපතා කොළඹ කොටුව දක්වා එහි ගමන් කළ මගීන් පිරිසක්ද විය. වසර ගණනාවක් කොස්ගමින් ගමන් ආරම්භ කළද මෙකී දුම්රියේ ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබුණේ වග ප්‍රදේශයේ බව මේ සම්බන්ධව අප දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේය. තවද වග දුම්රිය ස්ථානයේ කාමර ඉදිකරන තෙක් මෙම දුම්රිය කොස්ගමින් ගමන් ආරම්භ කළ බවද හෙතෙම මෙහිදී සඳහන් කළේය. කෙසේ නමුත් මේ වන විට දුම්රිය ධාවනය වන දුර කෙටි වී ඇති අතර මගීහුද දැඩි අපසුතාවට පත්ව සිටිති. ශිරන්තනි මානවඩු
 

More News..