brand logo

විධිමත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් වහා සම්පාදනයට ජනපති අවධානය

05 March 2020

කාලීන වෙනස්වීම්වලට ගැළපෙන විධිමත් අධ්‍යාපනයක් සඳහා ජාතික ප්‍රතිපත්තියක් වහා සකස් කළ යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. එය ජනාධිපතිවරයා හෝ අධ්‍යාපන ඇමතිවරයා හෝ පවතින රජය හෝ මාරුවන විට වෙනස් නොවන දැයේ අනාගත පරපුර වෙනුවෙන් වූ ක්‍රමයක් විය යුතු බව ද එතුමා කියා සිටී. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරි සැලැසුම් පිළිබඳව අද (05) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. “අධ්‍යාපන ප්‍රතිපත්තියක්” සැකසීමේ දී ගනු ලබන ක්‍රියාමාර්ග ගැන කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව සහ මහජනතාව පූර්ණ වශයෙන් දැනුවත් කළ යුතුය. අධ්‍යාපනඥයින්ගේ සහ අදාළ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගේ උපදෙස් සහ අන්තර්ජාතික ක්‍රම සැලකිල්ලට ගෙන එය සකස් විය යුතු බව ද එතුමා අවධාරණය කළේය. දේශපාලන පණිවිඩ සහ ඡායාරූප පාසල් පෙළ පොතෙන් ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා ගෙන ඇති තීරණය ජනාධිපතිතුමාගේ පැසසුමට ලක් විය. දේශපාලන වෙනස්වීම් සමග මේ ඡායාරුප සහ පණිවිඩ වෙනස් කොට පෙළ පොත් අලුතින් මුද්‍රණය කිරීමට අමාත්‍යාංශය විශාල පිරිවැයක් දරා ඇත. දැන් විශාල මුදලක් ඉතිරිකර ගැනීමට හැකි වෙයි. “නැණස” පරිගණක තාක්ෂණ වැඩසටහන පසුගිය කාලසීමාවේදී යම් ප්‍රමාණයකට පහතට ඇද වැටී තිබේ. එය යාවත්කාලීන කර ප්‍රතිඵලදායී ලෙස ඉදිරියට ගෙන යන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. දහවැනි සහ එකොළොස්වැනි ශ්‍රේණි සඳහා පරිගණක තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඇතැම් විෂයයන් උගන්වනු ලැබේ. ඉන් නිසි ඵල ලබා ගැනීමටනම් අඩුම වශයෙන් 06 ශ්‍රේණියේ සිට ඉහළට පරිගණක තාක්ෂණ දැනුම දිය යුතුය. එසේ නොකළහොත් අප රටට ලෝකයේ වේගවත් ගමන සමග ඉදිරියට හා නොහැකි යැයි ජනාධිපතිවරයා කියා සිටියේය. ග්‍රාමීය ප්‍රදේශවල පවතින ඉංග්‍රීසි ගණිත සහ විද්‍යා ගුරු හිඟයට පිළියමක් ලෙස පරිගණක තාක්ෂණය උපයෝගී කර ගැනීමේ හැකියාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. විධිමත් සැලසුමක් මගින් නාගරික දරුවන්ට ලැබෙන දැනුම ගමේ දරුවාට ද ඉන් ලබාදිය හැකිය. ග්‍රාමිය පාසල්වලට ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ අධිවේගී අන්තර්ජාල පහසුකම් රාජ්‍ය සහ පෞද්ගලික දුරකථන ආයතන සමඟ එක්ව සැපයීම කෙරෙහි ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය. පෙර පාසලේ සිට විශ්ව විද්‍යාලය දක්වා වූ විභාග මූලික අධ්‍යාපන රටාව වෙනස් කර ලොව ජයගත හැකි ප්‍රායෝගික ක්‍රමවේදයක් හඳුන්වාදිය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. මෙවර පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී එකම ශිෂ්‍යයෙකු හෝ ඉල්ලුම් නොකළ පාසල් සියයක් පමණ තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. තම පළාතේ 200ට අඩු ළමයින් සංඛ්‍යාවක් සිටින පාසල් 05ක් 06ක් ඇතැම් ප්‍ර දේශවල කිලෝ මීටරයක පමණ දුරින් ඇති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය සඳහන් කළාය. ඊට අවධානය යොමු කළ ජනාධිපතිතුමා එවැනි පාසල් එකට එකතු කිරීමේ හැකියාව සොයා බලන ලෙස උපදෙස් දුන්නේය. එමඟින් ගුරු හිඟය ද පිටු දැක පාසල්වල ගුණාත්මකභාවය නැංවිය හැකි බව ජනාධිපතිතුමා පැවසීය. දැනට තිබෙන ගුරු විද්‍යා පීඨ 19 විශ්ව විද්‍යාල උපාධියක් සහිත ගුරු පිරිසක් බිහිවන අන්දමින් විශ්ව විද්‍යාල පීඨ බවට පත්කිරීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. අධ්‍යපන අමාත්‍යංශය පරිගණක තාක්ෂණය ඇතුළු සියලු ක්ෂේත්‍ර වල කරනු ලබන වෙනස්කම්වල ප්‍රතිඵල වසර තුන හතරකින් පැහැදිළිව දැක ගත හැකි විය යුතු බව ද එතුමා අවධාරණය කළේය.
 

More News..