brand logo

විධායක නිලධාරීන්ගේ 15,000 දීමනාව අත්හිටුවයි

10 January 2020

මෙම ජනවාරියේ සිට රජයේ විධායක ගණයේ නිලධාරීන්ට උපරිමය රුපියල් 15,000 ක විශේෂ දීමනාවක් ලබාදීම සඳහා නිකුත් කරන ලද චක්‍රලේඛයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ බව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ලිඛිතව දන්වා තිබේ. රජයේ විධායක සේවා ශ්‍රේණියේ නිලධාරීන්ට විශේෂ දීමනාවක් ලබාදීම සඳහා ඉකුත් වසරේ (2019) දෙසැම්බර් මස 7 වැනිදා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කරන ලදී. නමුත්, එම චක්‍රලේඛ විධිවිධාන ක්‍රියාත්මක කිරිම තාවකාලිකව අත්හිටුවීමට ඉකුත් 2 වැනිදා පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇති බව අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි ඉකුත් 7 වැනිදා යවන ලද ලිපියේ සඳහන් කර ඇත. උදයජීව ඒකනායක/සාලිය කුමාර ගුණසේකර
 

More News..