brand logo

විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් මත්තලින් පිටත් කිරීමට අවධානය

30 May 2020

මත්තල ගුවන්තොටුපොලින් ඉදිරියේදී ශ්‍රමිකයින් වැඩි වශයෙන් පිටත් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ, නිවාඩු සඳහා මෙරටට පැමිණ සිටි කොරියානු රැකියා ලාභීන් පිටත්වීමේ විශේෂ අවස්ථාවට එක්වීමට ගුවන් තොටුපොලට පැමිණි අවස්ථාවේදීය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ රත්වත්තේ මහතා මෙලෙසද ප්‍රකාශ කළේය. “ඉදිරියේදී මත්තල ගුවන් තොටුපොලින් කොරියාවට ශ්‍රමිකයින් පිටත් කිරීමට මෙන්ම කොරියාවේ සිට මත්තල වෙත ශ්‍රමිකයින් ගෙන්වීමට බලාපොරොත්තු වෙනවා. එසේම මත්තල ගුවන් තොටුපොලින් විදේශ රැකියා ලාභීන් වැඩි පිරිසක් විදේශ ගතකිරීමට බලාපොරොත්තු වෙනවා.” කටුනායක ගුවන් තොටුපොල කාර්යබහුල වීම හා කොරෝනා වෛරසය හේතුවෙන් ඊට සෞඛ්‍ය ආරක්ෂණ පියවරක් ලෙස ශ්‍රමිකයින් මත්තල විකල්ප ජාත්‍යන්තර ගුවන් තොටුපොලින් විදේශ රැකියා සඳහා මෙම අවස්ථාවේ යොමුකිරීමට කටයුතු කළා. අපට ලැබෙන සෑම අවස්ථාවකම මෙම විකල්ප ගුවන්තොටුපොල විදේශ ශ්‍රමිකයින් විදේශ ගත කිරීමට භාවිතා කරනවා.” මෙම අවස්ථාවට එක්වූ මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොලේ කළමනාකරු උපුල් කලංසූරිය මහතා සඳහන් කළේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගම එක්ව විදේශ රැකියා ලාභීන් විශාල වශයෙන්, මත්තල ගුවන් තොටුපොලින් ගුවන් ගත කිරීමට සැලසුම් කර තිබෙන බවයි. වාර්තාවලට අනුව, මත්තල ගුවන් තොටුපොල අවට දිස්ත්‍රික්කවලින් 30% ක් පමණ විදේශ ගත වී ඇති බවත්, ඉදිරියේදී ඔවුන්ගේ ගුවන් ගමන් පහසුකම් මත්තල ගුවන් තොටුපොලින් ලබාදීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.
 

More News..