brand logo

විදේශ ගත වීමට පැය 4කට කලින් වාස් අස්වීම කනගාටුවට කරුණක්

24 February 2021

ජාතික ක්‍රිකට් කණ්ඩායම විදේශ ගත වීමට පැය හතරකට කලින් පුහුණුකරුවකු වන චමින්ද වාස් ඉල්ලා අස්වීම පිළිබඳ කනගාටු වන බව තරුණ හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ ඊයේ (23 වැනිදා) පාර්ලිමේන්තුවේදි පැවැසුවේය. තම ගිවිසුම් සහ කොන්ත්‍රාත්තු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ක්‍රමවේදයක් ඇතැයිද, සංචාරක ගාස්තුවට අමතරව චමින්ද වාස්ට බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පමණක් රුපියල් ලක්ෂ හත හමාරක ගෙවීමක් කිරීමටද එකඟවී ඇති බවත් ඇමැතිවරයා කීවේය. සංචාරයට පැය හතරකට කලින් අවසන් මොහොතේදී චමින්ද වාස් විසින් ඇමරිකානු ඩොලර් 3500 කින් දීමනාව වැඩි කරන ලෙස ඉල්ලා ඇතැයිද කී ඇමැතිවරයා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිට සහ ප්‍රධාන විධායක නිලධාරියාට හිතුමතේ මුදල් වෙන් කිරීමක් කළ නොහැකි බවද පැවසුවේය. සංචාරක ගාස්තුවට අමතරව ලබා දෙන රුපියල් ලක්ෂ හත හමාරක දීමනාවට එකඟ නොවූ චමින්ද වාස් ඉල්ලා අස්වී ඇතැයිද ඒ අනුව ක්‍රිකට් පාලක මණ්ඩලය එම අස්වීම පිළිගෙන ඇතැයිද කීය. චමින්ද වාස්ගේ ඉල්ලීම සාධාරණීකරණය හෝ නොකිරීමට තමන්ට නොහැකි බවද, පුහුණුකරුවකු වශයෙන් ඔහු සහ ක්‍රිකට් පාලක මණ්ඩලය අතර ගිවිසුමක් ඇතැයිද ඇමැති නාමල් රාජපක්ෂ කීවේය. චමින්ද වාස්ට ගෙවීම පිළිබඳ ගැටලුවක් නැතැයි ද කී ඇමැතිවරයා ඒ සඳහා ක්‍රමවේදයක් ඇතැයි ද සංචාරයට පැය හතරකට කලින් මේ ආකාරයටම වෙනත් පුහුණුකරුවකු හෝ ක්‍රීඩකයෙකු වැඩිපුර දීමනාවක් ඉල්ලා සිටියොත් පාලක මණ්ඩලයට ඊටද හිස නමන්නට සිදුවන බව කීවේය. අවසන් මොහොතේදී තමන්ට වේග පන්දු පුහුණුකරුවකු නොමැතිව කොදෙව් තරගයට යාමට සිදුවීම ගැන ක්‍රීඩකයන් කනගාටුවන බව කී ඇමැතිවරයා, දක්ෂතාවය මත පුහුණුකරුවන් තෝරා ගන්නවා මිස ඔහුගේ ජාතිය හෝ ආගම නොසලකන බව පැවැසුවේය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. අජිත් අලහකෝන්
 

More News..