brand logo

විදේශිකයින් මෙරට කරන අපරාධ ආගමන විගමනයට වාර්තා නොවීමෙන් ගැටලු

16 February 2019

විදේශිකයින් මෙරටදී සිදු කරන අපරාධ සම්බන්ධ තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවට වාර්තා නොවීම නිසා එම දෙපාර්තමේන්තුව දැඩි ගැටලුවකට මුහුණ පා ඇතැයි වාර්තා වේ. ආගමන විගමන දෙපාර්තමේන්තුවට වාර්තා වන්නේ වීසා උල්ලංඝනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පමණක් වන අතර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම් සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් වූ තොරතුරු එම දෙපාර්තමේන්තුවට වාර්තා නොවේ. මේ වන විට වීසා නීති උල්ලංඝනය කළ විදේශිකයින් 246 දෙනකු මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින අතර ඉන්දියානු ජාතිකයින් 94ක්, චීන ජාතිකයින් 59ක් සහ පාකිස්තාන් ජාතිකයින් 11 දෙනකු වශයෙන් එහි සිටින බව වාර්තා වේ. ගෙවුණු වර්ෂයේ වීසා නීති උල්ලංඝනය කළ 1548 දෙනකු සම්බන්ධයෙන් විමර්ශනය කර 678 දෙනකු එම රටවල්වලට යැවූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී අසිත නිරෝෂණ පැවසීය. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් කළ විමසුමකදී පැවසුවේ 2018 වර්ෂයේ පමණක් විදේශිකයින් 41ක් හා 2019 වර්ෂයේ ගෙවුණු කාලයේදී විදේශිකයින් 8 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. 2018 වර්ෂයේ අත්අඩංගුවට ගත් පිරිසේ ඉන්දියානු ජාතිකයින් 15 දෙනකු හා පාකිස්තාන ජාතිකයින් 07 දෙනකු සිටින අතර අත්අඩංගුවට ගත් පිරිසෙන් 23 දෙනකු මත්ද්‍රව්‍ය චෝදනා මත මත්ද්‍රව්‍ය නාශක අංශය මගින්ද අත්අඩංගුවට ගෙන ඇත. 2019 අත්අඩංගුවට ගත් පිරිසෙන් ඇමෙරිකානු හා ඊශ්‍රාල ජාතිකයන් දෙදෙනා බැගින් අත්අඩංගුවට ගෙන තිබේ. චමින්ද සේනාරත්න
 

More News..