brand logo

විදේශවල සිරවූවන් ගෙන්වීමේ ජාවාරමක්

10 October 2020

  කොවිඩ් නිසා විදෙස් රටවල සිර වූ ලාංකිකයන් මෙරටට ගෙන එන මුවාවෙන් ගුවන් යානා කුලියට ගෙන කළ සංවිධානාත්මක ජාවාරමක් නතර කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර ඇත. පෞද්ගලික අංශයේ මැදිහත්වීමෙන් ඉකුත් ජූලි මාසයේ සිට මැදපෙරදිග ඇතුළු රටවලින් ශ්‍රී ලාංකිකයන් රැගෙන ඒමේ දී සිදු කළ මූල්‍යමය වංචාවන් ගැන ජනපතිවරයාට සාක්ෂි සහිතව දුන් බුද්ධි වාර්තා පදනම් කරගෙන මෙම තීරණය ගෙන ඇත. මින් ඉදිරියට එම කටයුතු කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ මැදිහත්වීමෙන් කිරීමට නියෝග කර තිබේ. මෙම සංවිධානාත්මක ජාවාරමට රජයේ නිලධාරීන් මෙන්ම තානාපති අංශවල නිලධාරීන් ද සම්බන්ධ බව අනාවරණය වී ඇත. ශ්‍රී ලංකා රජය හා ආරක්ෂක අංශ මෙයට සම්බන්ධ බවට හඟවා සංවිධානාත්මක පිරිසක් මෙය කරගෙන ගොස් ඇතැයි බුද්ධි අංශ විසින් ජනපතිවරයාට වාර්තා කර තිබේ. මෙහි දී ගුවන් ටිකට්පතේ සිට හෝටල්, කාමර සැපයීම, ගුවන් යානා කුලියට ගැනීම ඇතුළුව කාර්යයන්වලදී එක් එක් ගුවන් වාරයකට රුපියල් මිලියන 36ක පමණ ලාභයක් තබාගෙන ඇති බව හෙළි වී තිබේ. ඩුබායි සිට මගීන් ගෙන ඒමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් ඇමරිකන් ඩොලර් අසූදහසකට ගුවන් යානාවක් කුලියට ගෙන එක් මගියකුගෙන් ඩොලර් දහස බැගින් අය කරගෙන ඇත. එහි දී කොවිඩ් නීති රෙගුලාසි අනුව ගුවන් යානාවක මගීන් අතර පරතරය තබා ගැනීමට රැගෙන එන බව පවසා ටිකට්පත්වල මිල ගණන් නියමිත මිලට වඩා වැඩි කර ඇතත් ගුවන් යානයේ සියලුම අසුන් ගණනට මගීන් 280 බැගින් එකවර රැගෙන විත් ඇතැයි හෙළිවී තිබේ. මෙමගින් පෞද්ගලික අංශයට එක් යානයකින් ඩොලර් ලක්ෂ දෙකකට අධික ලාභයක් ලැබී ඇත. ශ්‍රී ලාංකිකයන් විදෙස්ගත වීමේ දී මෙරටට එන ටිකට් පත (Return) සඳහාත් කලින් මුදල් ගෙවා තිබුණද එය වලංගු නොමැති බව කියා අදාළ නියෝජිතයන් කියන සමාගමෙන් වෙනමම ටිකට් ලබා ගැනීමට උපදෙස් දී ඇත. මෙයට ඉතාලියේ සිට පැමිණි අයටද මුහුණපාන්නට සිදු වී තිබේ. විදෙස් රටවල සිටින මෙරටට පැමිණීමට ලියාපදිංචි වී ඇති අයගේ ලැයිස්තුව සකස් කර අදාළ රටවල තානාපති කාර්යාල වෙත ගිය විගස අදාළ සංවිධානාත්මක ජාලය අයත් නියෝජිතයන් අතට ලැයිස්තුව යන බව හෙළි වී ඇත. තමන් කුලියට ගන්නා ගුවන් යානයේ යෑමට පැකේජ ලබාදෙන බව කියමින් ඔවුන් ලැයිස්තුවේ සිටින මගීන් අමතා සම්බන්ධ කරගෙන ඇති බව හෙළි වී ඇත. මෙම යානාවල එන මගීන්ට හෝටල් සඳහා එක් අයකුගෙන් රුපියල් දොළොස්දහස් පන්සිය බැගින් දිනකට අය කරගෙන දෙදෙනකු බැගින් කාමරවලට ඇතුළු කර අඩු පහසුකම් සහිතව කෑම බීම දෙන ජාවාරමක්ද සාක්ෂි සහිතව හෙළී වී ඇත. මෙම පිරිසට දෙන පැකේජයට නිරෝධායනය අවසන් වී යන විටත් සුඛෝපභෝගී බස් රථ දෙන බව සඳහන් කර බස් නැවතුම්පොළවලින් සාමාන්‍ය මගී බස්වලින් ප්‍රවාහන පහසුකම් ලබා දෙන බව හෙළි වී ඇත. තිස්ස රවින්ද්‍ර පෙරේරා
 

More News..