brand logo

හරීන්ගෙන් විදේශගත ශ්‍රමිකයින්ට දුරකථන පැකේජයක්

16 September 2019

විදේශගත ශ්‍රමිකයින් හා ඔවුන්ගේ දරු පවුල් අතර සම්බන්ධතාවය තවදුරටත් ළං කරමින්, විදේශගත ශ්‍රමිකයින්ට දිනපතාම තමන්ගේ පවුලේ අයට කතා කිරීමට අවස්ථාව ලබාදෙන දුරකථන පැකේජයක් හදුන්වාදෙන බවත් මේ හරහා විදේශගත ශ්‍රමිකයින්ට තවත් සහන ලබාදෙන බවත් විදුලි සංදේශ, ක්‍රීඩා හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසුවේය. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඇමතුම් මධ්‍යස්ථානය විවෘත කළ අවස්ථාවේදී අදහස් දක්වමින් හරින් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේය. නවීකරණය කරන ලද නව ඇමතුම් මධ්‍යස්ථානය හරහා දවසේ පැය විසිහතර පුරාම විදේශ ගත ශ්‍රමයින්ගේ ගැටලුවලට විසදුම් ලබාදීමට අවශ්‍ය තොරතුරු ලබාදෙන අතර ඔ්නෑම රටක සිට තමන්ගේ ගැටලු පිළිබද දැනුවත් කිරීමට අවස්ථාව ලැබේ. මීට අමතරව විදේශගත ශ්‍රමිකයින් සදහාම විශේෂ වූ මොබිටෙල් ජංගම දුරකතන පැකේජයක්ද හදුන්වා දුන්නේය. මෙම පැකේජය හරහා දිනපතා තමන්ගේ නිවසට විනාඩි අටක කාලයක් නොමිලේ කතා කිරීමේ අවස්ථාව ලැබේ. මේ පැකේජය හරහාශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්ෂණික ඇමතුම් අංකයට ගන්නා සියලුම ඇමතුම් නොමිලේ ලබාදී තිබේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හරින් ප්‍රනාන්දු මහතා‌ මෙසේද පැවසුවේය. අපි මොබිටෙල් ආයතනය සමග සම්බන්ධවෙලා විදේශ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් සදහා විශේෂ දුරකතන පැකේජයක් හදුන්වා දෙනවා. අපි මේ පැකේජය ලබාදෙන්නේ රැකියාවත් කරගෙන ගෙදර තොරතුරුත් දැනගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදෙමිනුයි. මේ පැකේජය යටතේ දවසට විනාඩි අටක් නමයක්, ලංකාවට කතා කිරීම අවස්ථාව ලැබෙනවා. විනාඩි දහයක් කතා කරලා, ගෙදර දරුවන් හොදින්ද, දරුවන් පාසල් ගියාද කියලා අහන්න තියෙනවා නම් විදේශ ගත ශ්‍රමිකයින්ටත් ඒක ලොකු අවස්ථාවක් වෙනවා. එහෙම නැතිව ඇති තරම් කතා කිරීමේ අවස්ථාව ලබාදුන්නොත් ඒක රැකියාවේ කටයුතු වලට බාධාවක් වෙනවා. මේ නිසා තමයි විනාඩි දහයකට ආසන්න කාලයක් ලබාදී තිබෙන්නේ. පිටරට සිටින අපේ සහෝදර සහෝදරයින්ට සහනයක් ලබාදීම සදහා මේ පැකේජය අපි ලබාදී තිබෙන්නේ. මීට අමතරව නොමිලේ ඩේටා පහසුකම් ද මේ පැකේජය හරහා ලබාදී තිබෙනවා. මේ වන විට ශ්‍රී ලාංකිකයින් වැඩි වශයෙන් සේවය කරන රටවල් බොහෝමයක් ආවරණය කර තිබෙනවා. ඉදිරියේදී තවත් ආවරණය කළ යුතු රටවල් මේ මගින් ආවරණය කරාවි. මේ පැකේජය ලබාදීම විදේශ ගතවන ශ්‍රමිකයින්ට සහනයක් වෙනවා. මේ නිසා ඉදිරියේදී මේ සිම්පත අපේ තානාපති කාර්යාලවලින් පවා ලබාගැනීමේ අවස්ථාව ලබාදෙනවා. අද දිනයේදී මේ කරන දේ ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් ඉදිරියට රැගෙන යා යුතුයි. ඒ වගේම තමයි මේ ආයතනයේ විනය උපරිම මට්ටමින් තිබිය යුතුයි. මම විදේශ සේවා නියුක්ති කාර්යාංශය දේශපාලනීකරණය කරලා නැහැ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සල්ලිවලින් දාන, දන්සැල් දීලා නැහැ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුදල් විනාශ කරලා මේ ආයතනය කඩා දමලා නැහැ. මේ ආයතනයේ නිලධාරීන් වෙනුවෙන් කළ යුතු උපරිම දේ මම කරලා තියෙනවා. දේශපාලනය කළ යුතු තැන් තියෙනවා. මේ කාර්යාලය ඇතුලේ දේශපාලනය කරන්න එපා. මේ කාර්යාලයෙන් පිට ඔ්නම දේශපාලනයක් කිරීම අවස්ථාව තිබෙනවා. මේ ආයතනය වෙනුවෙන් අවංකව කටයුතු කරන නිලධාරීන්ට අවස්ථාව තිබෙනවා. අපි දැන් ජපන් රැකියා අවස්ථා ලබාගෙන තිබෙනවා. ජපන් රැකියා අවස්ථා පිළිබද ආයතනයේ නිලධාරීන් විදියට ඔබ දැනුවත් විය යුතුයි. මැද පෙරදිග ඇතැම් රටවල රැකියා අවස්ථා අඩු කර තිබෙනවා. ඩුබායිහි ජුමේරා හෝටලයේ රැකියා දහසක් අඩු කර තිබෙනවා. ඒ අතර තුන්සිය පනහකට අවස්ථා අහිමිවෙනවා. මේ ආකාරය රැකියා අහිමිවන හෝටල් ක්ෂේත්‍රයේ අත්දකීම් තියෙන අයට ජපානයේ රැකියා අවස්ථාවන් විවෘත කර දිය හැකියි. මේ සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ගේ පූර්ණ සහාය හිමිවිය යුතුයි. අපි රන් පියාපත් වැඩසටහන විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරනවා. රන් පියාපත් නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේ ඇයි කියලා බොහෝ දෙනා අහනවා. අපි මේ රන් පියාපත් වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ විදේශ ගත ශ්‍රමිකයින් දැනුවත් කිරීම සදහායි. හරි විදියට රට යන්නේ කොහොමද කියන එක දැනුවත් කරන්න තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරනනේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවෙලා විදේශ රැකියාවක් සදහා පිටත්ව යන අයට කිසියම් හෝ කරදරයක් සිදුවුවොත් ඔවුන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් වන්දි ලබාදෙනවා. ලෙඩක් දුකක් හැදුනොත් බලාගන්නවා. මේවා බොහෝ දෙනා දන්නේ නෑ. අද අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඇමතුම් මධ්‍යස්ථානය නවීකරණය කර විවෘත කළා. දැන් වඩාත් විධිමත් ආකාරයට ඇමතුම් මධ්‍යස්ථානයේ කටයුතු කරගෙන යා හැකියි. ඉදිරි කාලය දේශපාලන කාලයක්. ජනාධිපතිවරණයක් එන්න තියෙනවා. මේ කාර්යාලයෙන් ගියාට පස්සේ ඔනම දේශපාලන වැඩක් කරන්න. හැබැයි මේ ආයතනය දේශපාලනීකරණය කරගන්න එපා. මම කවදාවත් දේශපාලනය මත පදනම් කරගෙන මේ ආයතනයේ කිසිම සේවකයෙක්ගෙන් පලි අරගෙන නෑ. ඒ නිසා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රාජකාරි හා දේශපාලනය පටලවාගන්න එපා කියලයි. මෙම අවස්ථාව සදහා විදුලි සංදේශ, ක්‍රීඩා හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී මනුෂ නානායක්කාර, හෙක්ටර් අප්පුහාමි, ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන යන මහත්වරු ඇතුළු ටෙලිකොම් හා මොබිටෙල් ආයතනයේ නියෝජතියින්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීහු පැමිණ සිටියහ.
 

More News..