brand logo

විදෙස් ක්‍රීඩකයෝ මෙවරත් දේශීය රග්බි පිටියට බසිති

22 November 2019

ලබන සතියේ ආරම්භ වීමට නියමිත අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පොලිසිය සහ යුද හමුදා කණ්ඩායම් නියෝජනය කරමින් ක්‍රීඩා කරන විදෙස් ක්‍රීඩකයන් මේ වනවිට සිය කණ්ඩායම් සමග එක්ව තිබේ. ගියවර ලීග් රග්බි තරගාවලියේ කණ්ඩායම් අතර අග ස්ථාන හතර අතරට පත් වූ කණ්ඩායම් සඳහා මෙසේ එක් විදෙස් ක්‍රීඩකයෙක් බැගින් සහයකර ගැනීමට ලැබුණු අවස්ථාව යොදාගනිමින් පොලිසිය සහ යුද හමුදාව විසින් විදෙස් ක්‍රීඩකයන් ගෙන්වා ගැනීමට කටයුතු යොදා තිබිණි. පොලිස් කණ්ඩායම පසුගිය තරගාවලියේදී සිය කණ්ඩායම හා එක්කරගත් ෆීජි ක්‍රීඩක ඉමෝසි වුනිවෝසා කෙරෙහි විස්වාසය තබමින් මෙවරත් ඔහුව සිය කණ්ඩායම හා එක්කර ගැනීමට කටයුතු කර තිබේ. යුද හමුදා කණ්ඩායම ගියවර තරගාවලියේදී ‘සෙන්ටර්’ සහ ‘නොම්මර 8’ යන ස්ථාන සඳහා ෆීජිහි යුද හමුදාව නියෝජනය කළ ක්‍රීඩකයන් දෙදෙනෙක් ගෙන්වාගෙන තිබුණද, මෙවර ‘සෙන්ටර්’ ස්ථානයේ ක්‍රීඩා කිරීමට පමණක් ෆිජී ක්‍රීඩකයෙක් ගෙන්වාගෙන තිබේ. පොලිසිය, යුද හමුදාවට අමතරව නාවික හමුදාවට සහ ගුවන් හමුදාවටද, විදෙස් ක්‍රීඩකයන් ගෙන්වා ගැනීමේ අවස්ථාව උදා වී තිබුණත් ඔවුන් මේ වෙනතෙක් අදාළ ක්‍රීඩකයින් ගෙන්වා නැත. වාර්තා වන අන්දමට නාවික හමුදාව ඉදිරි සති දෙක ඇතුළත ෆිජී ක්‍රීඩකයෙක් ගෙන්වීමට බලාපොරොත්තුවෙන් සිටින අතර ගුවන් හමුදා කණ්ඩායමට විදෙස් ක්‍රීඩකයෙක් ගෙන්වා ගැනීම සඳහා තවමත් අනුමැතිය ලැබී නොමැති බවට සඳහන්ය. ඔවුන්ට ඒ සඳහා අනුමැතිය ලැබුණහොත් ඔවුන්ද, ෆීජි ක්‍රීඩකයෙක්ගේ සහය ලබා ගැනීමේ සූදානමින් පසුවන බැව් වැඩිදුරටත් වාර්තා වේ. ගියවර පොලිස්, ගුවන්, යුද සහ සී.ආර්. යන කණ්ඩායම් සඳහා විදෙස් ක්‍රීඩකයන් ගෙන්වීමේ අවසරය ලැබී තිබිණි. නමුත් ලකුණු සටහනේ අග කණ්ඩායම් සඳහා පමණක් එම අවස්ථාව ලබා දීමට විරෝධය පෑ ‘සී.එච්. ඇන්ඞ් එෆ්.සී’ පිල එම තීරණය අභියෝගයකට ලක් කරමින් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබිණි. ඒ වනවිට තරගාවලියේ පැවැති තරග 3ක් පමණ විදෙස් ක්‍රීඩකයන් ක්‍රීඩාකොට තිබුණු අතර අනතුරුව අදාළ නඩුව අවසන්වනතෙක් ඔවුන්ට තරගාවලිය හා එක්වීමට නීතියෙන් අවසරයක් නොවීය. මෙවර මුල් ස්ථානවල පසුවන කණ්ඩායම් සඳහාද, විදෙස් ක්‍රීඩකයෙක් ගෙන්වා ගැනීම සඳහා අවසරයක් ලැබෙන බවට වන ආරංචිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති ලසිත ගුණරත්න මහතාගෙන් විමසීමේදී ‘මුල් ස්ථාන සඳහා ක්‍රීඩකයෙක් ගෙන්වන්න අපි අවසරය දීලා නැහැ. අපි අග කණ්ඩායම් සඳහා මේ අවස්ථාව ලබාදෙන්නේ ලීග් තරගාවලියේ තියෙන තරගකාරිත්වය තවදුරටත් වැඩි කරන්න. ඒ තීරණයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ’ යි යනුවෙන් කියා සිටියේය. ඒ අනුව මෙවර සිය කණ්ඩායම් සඳහා විදෙස් ක්‍රීඩකයන් එක්කර ගැනීමේදී ඔවුන් වෙනුවෙන් සියලු වියදම් අදාළ ක්‍රීඩා සමාජය විසින් දැරිය යුතුවීම සුවිශේෂී කාරණයක් වේ. ගයාශාන් විතානආරච්චි ඉමෝසි වුනිවෝසා ඡායාරූපය - කාවින්ද ජයසුන්දර
 

More News..