brand logo

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් නොසන්සුන් කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් තියෙනවා

01 June 2020

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කිරීමේ සංවිධානාත්මක වැඩපිළි​වෙළක් පවතින බව සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. විෂය භාර ඇමැති ප්‍රසන්න රණතුංග නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ විපක්ෂයට සම්බන්ධ ඇතැමුන් මේ පිළිබඳ ව්‍යාජ ප්‍රකාශ නිකුත් කරන බවයි. එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හෙවත් රට විරුවන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත්කර ගැනීම සඳහා කළ කැපවීම අප කිසිසේත් අවතක්සේරු කර නොමැත. ඔවුන් මෙරටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධාන පාර්ශ්වයක් වන අතර, මාතෘ භූමියේ අනාගතය පිළිබඳ විශේෂ දැක්මක් ඇති පිරිසකි. පසුගිය දිනෙක කුවේට් රාජ්‍යයෙන් මෙරටට පැමිණි රටවිරුවන් සම්බන්ධයෙන් හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ කළ ප්‍රකාශය ජනාධිපතිවරයාගේ හෝ අපේ ආණ්ඩුවේ මතය නොවේ. එය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පෞද්ගලික මතයකි. ඊට ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ අපේ ආණ්ඩුව එකඟ නැත. අපට මේ විදේශගත ශ්‍රමිකයන් එදත් අදත් හෙටත් රට විරුවන්ය. එහි වෙනසක් නැත. කොවිඩ්-19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් රටවල් 143ක විදේශත ශ්‍රී ලාංකික 38,983කට වැඩි පිරිසක් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටියහ. විදේශ කටයුතු අමාත්‍යාංශ වාර්තා අනුව සිසු සිසුවියන් 3078ක්, කෙටි කාලීන වීසා බලපත්‍ර ලාභීන් 4040ක් සංක්‍රමණික ශ්‍රමිකයන් 27,854, යැපෙන්නන් 3527ක්, ද්විත්ව පුරවැසියන් 48 දෙනෙක් හා වෙනත් අය මීට ඇතුළත්. පසුගිය මාර්තු 19 වැනිදා ගුවන් තොටුපළ වසා දැමීමෙන් පසු මේ දක්වා රටවල් 21ක සිටි ශ්‍රී ලාංකිකයන් 10,000කට ආසන්න පිරිසක් දිවයිනට ගෙන්වා ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත. දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් මැදපෙරදිග ඇතුළු සියලු රටවල සිටින විදේශගත ශ්‍රමිකයන් ගෙන්වා ගැනී‍මේ වැඩසටහන කිසිසේත් අතහැර දැමීමට රජයේ සූදානමක් නැත. විදේශ කටයුතු අමාත්‍යාංශය මේ පිළිබඳව නිරන්තරයෙන්ම ඇමැති මණ්ඩලය දැනුවත් කරන අතර, ආණ්ඩුවේ ස්ථාවරය වන්නේ මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින අවසන් ශ්‍රී ලාංකිකයා ද කුමන තත්ත්වයක් යටතේ වුවද දිවයිනට ගෙන්වා ගැනීමටයි. එහෙත් එහිදී රට තුළ සිටින ජනතාව අනතුරේ දමා ඉතාලිය හා ඇමෙරිකාව වැනි තත්ත්වයන් රට තුළ නිර්මාණය වීමට ද කිසිසේත් ඉඩ තැබීමට ද ආණ්ඩුවට නොහැකිය. එවැනි තත්ත්වයක් මතුවුවහොත් අනතුරට පත්වන්නේ මෙරට සිටින ඔබේ මව, පියා ස්වාමිපුරුෂයා, බිරිඳ දරුවන්ය. ඒ නිසා මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට කටයුතු කිරීමට සිදුව ඇත්තේ ඉතා පරිස්සමෙන් බව අප සියලුදෙනා වටහාගත යුතුය. රට තුළ සිටින්නේ ද විදේශගත ශ්‍රමිකයන්ගේම සමීපතමයන්ය. විදේශ ගතව පීඩාවට පත්ව සිටින්නේද අනතුරුදායක තත්ත්වයේ සිටින්නේ ද අපේම පුරවැසියෝය. මේ නිසා පවතින තත්ත්වය පිළිබඳව ඉවසීමෙන් සිතා බලන ලෙස අපි මේ මොහොතේ සියලු රට විරුවන්ගෙන් ඉල්ලා සිටිමු.    
 

More News..