brand logo

විදෙස්ගත ලාංකිකයන් 38,983ක් ලංකාවට එන්න කැමැත්තෙන්

18 May 2020

විදේශ රටවල් එකසිය හතළිස් තුනක රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් තිස්අටදහස් නවසිය අසූතුන් දෙනකු නැවත මව්රටට පැමිණීමට කැමැත්ත පළකර ඇතැයි විදේශ කටයුතු  අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. අමාත්‍යාංශ වාර්තාවන්ට අනුව එය ශ්‍රී ලංකාව අමතන්න (Contact Sri Lanka) වෙබ් ද්වාරය ඔස්සේ මේ වන විට මෙම ශීඝ්‍ර ශ්‍රී ලාංකිකයන් පිරිස නිල වශයෙන් යළි ඒමට කැමැත්ත පළකර ලියාපදිංචි වී සිටිති. මෙම පිරිසට සිසුන් තුන්දහස් හැත්තෑඅටක්, කෙටිකාලීන වීසා බලපත්‍රලාභීන් හාරදහස් හතළිහක්, සංක්‍රමණික සේවකයන් විසිහත්දහස් අටසිය පනස් හතරක්, යැපෙන්නන් තුන්දහස් පන්සිය විසිහතක් සහ ද්විත්ව පුරවැසියන් හාරසිය අසූහතරක් අයත් වන බව අමාත්‍යාංශය පවසයි. මේ අතර පසුගිය අප්‍රේල් 21 වැනිදා සිට මේ දක්වා රටවල් පහළොවක රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් තුන්දහස් හයසියකට වැඩි පිරිසක් මෙරටට ගෙන්වාගෙන ඇති බවත් එම පිරිස අතරට සිසුන්, රාජ්‍ය නිලධාරීන් සහ යැපෙන්නන් ඇතුළත්ව ඇති බවද වාර්තා සඳහන් කරයි. කෙසේ වෙතත් යළි මව්රටට ඒමට අවශ්‍යතාව පළනොකළ නමුත් සිය වෙබ් ද්වාරය සමග සම්බන්ධ වී ඇති විදේශික ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව හැත්තෑඅටදහස් තිස්තුනක් බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසති. එසේම මෙම ද්වාරය හරහා මේ දක්වා අසන ලද ප්‍රශ්න හත්දහස් හත්සිය අසූ අටකට විසිහතර පැය ක්‍රියාත්මක සේවාවක් ඔස්සේ සාර්ථකව පිළිතුරු ලබාදී ඇතැයිද අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.   නයන තරංග ගමගේ
 

More News..