brand logo

විදෙස්ගත ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලැබෙයි ද?

17 October 2020

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලැබෙන ලෙස මැතිවරණ නීති සංශෝධනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් යෝජනා කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මැතිවරණ කොමිෂන් සභාවේ උපායමාර්ගික සැලසුම් පිළිබඳව අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත. මැතිවරණ කොමිෂන් සභාවේ උපාය මාර්ගික සැලසුමට අදාළව මැතිවරණ නීති සංශෝධනය වීම අත්‍යවශය කරුණක් බව මෙහිදි අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය. මැතිවරණයට අදාළ ඇප මුදල් සංශෝධනය කිරීම, මැතිවරණය පැවැත්වෙන දිනයේ ඡන්දය දැමීමට නොහැකි පුද්ගලයන් වෙනුවෙන් ඊට පෙර වෙනම දිනයක් ලබාදීම, අවුරුදු 18 සම්පූර්ණ වූ විගස ඡන්ද අයිතිය ලැබෙන පරිදි ඡන්ද හිමි නාම ලේඛනය මාස තුනකට වරක් යාවත්කාලීන කිරීම, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදීම, මැතිවරණ වියදම් පාලනය, ආබාධිත පුද්ගලයන්ට පහසුකම් සපයන ‘සපිරි ඡන්ද මධ්‍යස්ථන’ සැකසීම සහ විශේෂ ව්‍යාපෘති යටතේ ඊ-ඡන්ද ක්‍රමය ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදි මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරිහු අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරුන් වන චමින්ද කුලරත්න, ගනේෂ් ධර්මවර්ධන, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක, කොමිෂන් සභාවේ ලේකම් එච්.එම්.ටී.ඩී. හේරත්, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එස්. අච්චුදන්, පර්යේෂණ හා සැලසුම් අධ්‍යක්ෂ චන්න පී. ද සිල්වා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලන ලේකම් හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 

More News..