brand logo

විදුහල් බිමේ දී සිසුවියක ක්ලාන්තවී වැටෙයි - ආසාදිත බව සොයාගෙන

08 January 2021

  දම්පේ සියනෑ ජාතික පාසලේ ශිෂ්‍යාවකට හා එහි අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවකයකුට කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වී ඇත. ඉන් අනතුරුව සිසුවියගේ ආශ්‍රිත සිසුන් තිස්දෙනකු හා අනධ්‍යයන සේවකයාගේ ආශ්‍රිතයන්ද නිරෝධායනයට ලක් කර ඇත. එම විදුහලේ විදුහල්පති අනුරාගොඩ ධම්මාරාම හිමි පවසන පරිදි අ.පො.ස. උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණයේ අයැදුම් පත් ලබා ගැනීමට පැමිණි සිසුවියක විදුහල් බිමේ දී හදිසියේ ක්ලාන්ත වී ඇත. පසුව අනාවරණය වී ඇත්තේ කොවිඩ් ආසාදිතයකු නිසා ඇයගේ නිවස නිරෝධායනයට ලක් කර තිබූ බවයි. එමෙන්ම ආසාදිතයකු හමුවීම නිසා නිරෝධායනයට ලක් කළ නිවසක සිට විදුහලට අනධ්‍යයන සේවකයකු ද පැමිණ ඇති බව මේ අතර අනාවරණය වී ඇත. තවදුරටත් සොයා බැලීම්වලදී පෙර කී සිසුවියට හා අනධ්‍යයන සේවකයාට කොවිඩ් ආසාදිත බවද හෙළි වී ඇත. මේ අනුව, සෞඛ්‍ය අංශ උපදෙස් මත අදාළ පිරිස නි​රෝධායනයට ලක් කළ බවද උන්වහන්සේ තවදුරටත් පැවසූහ. කෙසේ වෙතත් දොම්පේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.එස්. බණ්ඩාරනායකගෙන් මේ පිළිබඳ විමසීමේ ඔහු පැවසුවේ, මාධ්‍ය විමසන තෙක් විදුහල් පරිපාලනය මේ පිළිබඳ තමන් දැනුවත් නොකළ බවයි. ආරියපාල වීදාගම - දොම්පේ ප්‍රසංග පාවුළුහේවා - කටුනායක
 

More News..