brand logo

විදුලි බිලේ සහනයෙන් ලංවිමට පාඩුවක් නෑ

31 July 2020

සියලු විදුලි පාරිභෝගිකයන්ට මාර්තු, අප්‍රේල් සහ මැයි මාස සඳහා රුපියල් බිලියන 3ක සහනයක් ලබා දීමට ගත් තීරණය මගින් ලංවිමට පාඩුවක් සිදුනොවන බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් සඳහන් කළේය. එය වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ඉතිරි කර ගැනීමට හැකි වූ රුපියල් බිලියන 30ක මුදලෙන් බිලියන තුනක පමණ වෙන් කිරීමක් බවද හෙතෙම පෙන්වා දෙයි. 2019 වසරේදී ලංවිම රුපියල් බිලියන 85 ක පාඩු ලැබූ බවත් මේ වසරේදී එය බිලියන 93 දක්වා ඉහළ යනු ඇති බවට අනුමාන කළ බවත් පැවසූ සභාපතිවරයා ලංවිමට ඩීසල් සහනය ලබාදීම වැනි නව ආණ්ඩුව විසින් ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් එම අපේක්ෂිත අලාභය බිලියන 63 දක්වා අඩුකරගැනීමට හැකි වූ බව සඳහන් කළේය. සභාපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (30දා) ලංවිම ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. පෙර සඳහන් කළ මාස තුන සඳහා විදුලි බල මණ්ඩලය විසින් නිකුත් කළ බිල්පත්වල කිසිදු වැරැද්දක් නොමැති බවද සභාපතිවරයා මෙහි දී අවධාරණය කළේය. ඔහු පෙන්වාදුන් පරිදි විදුලි පරිභෝජනය වැඩි වන විට ඒකකයට අය කරන මුදල ක්‍රමිකව වැඩිවේ. පළමු ඒකක 30 සඳහා ඒකකයකට අය කරන මුදල රුපියල් 2.50ක් වුවද පරිභෝජනය ඒකක 180ක් වූ විට ඒකකයකට අය කරන මුදල රුපියල් 45ක් වේ. ඒ අනුව පෙර කී මාස තුනක් නිවසේ රැඳී සිටීමෙන් පරිභෝජනය ඉහළ යන අතර ඉහළ යන ඒකක ගණනට සාපේක්ෂව අය කරන මුදල ද ඉහළ යයි. කෙසේ නමුත් ජනතාව පීඩනයට පත් මේ අවස්ථාවේ දී රජය පාරිභෝගිකයා වෙත සහන ලබා දීමට ගත් තීරණය පිළිබඳව සභාපතිවරයා මෙහි දී රජයට කෘතඥතාව පළ කළේය. මේ අතර කිසියම් පාරිභෝගිකයකු වෙත ලැබුණ බිල්පතෙහි සඳහන් පරිදි ඔහු විසින් ලං.වි.ම.ට වැඩි මුදලක් ගෙවා ඇත් නම් ලං.වි.ම. සතුව තිබෙන එම පුද්ගලයින්ගේ ගිණුම්වලට එම අතිරික්ත මුදල් බැර වන බවත් ඒ අනුව ඉදිරි මාසවල බිල්පත්වලට එම මුදල් හිලව් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් පියවර ගනු ඇති බවත් මෙහි දී සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ශිරන්තනි මානවඩු
 

More News..