brand logo

විදුලි පද්ධතියේ දෝෂයකින් සිදුවන මරණයකට ලක්ෂ 10ක්

02 December 2020

විදුලිබල මණ්ඩලයේ විදුලි පද්ධතියේ ඇති වන දෝෂ සහ දුර්වලතා හේතුවෙන් සිදුවන පුද්ගල මරණයක දී රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් පිරිනැමීමට තීරණය කර තිබේ. මේ සඳහා රක්ෂණ ක්‍රමයක් ඇති කිරීමට විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම, රක්ෂණ සංස්ථාව සමග සිදුකළ සාකච්ඡාවකදී එකඟවී ඇත. එමෙන්ම ක්ෂණික විදුලි බිඳවැටීම් වැනි හේතූන් නිසා ගෘහ විදුලි උපකරණ වලට සිදුවන අලාභයන් පූරණය කිරීම සඳහා ද මෙම රක්ෂණ ක්‍රමය හඳුන්වා දීමට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමග සාකච්ඡා කළ බව විදුලිබල ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ දී පැවති විදුලිබල සහ පුනර්ජණනීය බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී පැවසීය. නඩත්තු කටයුතු සඳහා විදුලිය විසන්ධි කිරීමේ දී එය සතියකට පෙර අදාළ පාරිභෝගිකයන් වෙත දැනුම්දීම සඳහා ක්‍රමවේදයක් ආරම්භ කරන ලෙසද ඇමැතිවරයා නිලධාරීන් වෙත උපදෙස් දී තිබේ. විදුලිබල මණ්ඩලය වීදි පහන් සඳහා වසරකට රුපියල් බිලියන දෙකක් වැය කරයි. විදුලි බලයෙන් ක්‍රියාකරන වීදි පහන් සවි කිරීමට නොහැකි ප්‍රදේශ වලට සූර්ය බලයෙන් ක්‍රියාකරන වීදි පහන් සවි කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය. අකුණු සක්‍රීය ප්‍රදේශවල විශාල වශයෙන් දේපළ විනාශයට පත්වීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු වූ අතර ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සමග ද සාකච්ඡා කොට මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබා ගැනීමට ද මෙහිදී තීරණය විය. අජිත් අලහකෝන්
 

More News..