brand logo

විදුලිය විසන්ධියට හේතුව හෙළිවේ බිලියන 90කට මිලට ගත් ජෙනරේටර් 50කින් වැඩ නොගනී

30 March 2019

දෛනිකව පැය 4කට අධික කාලයක් විදුලිය විසන්ධි කිරීමට හේතුව මීට මාස තුනහමාරකට පෙර ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන 90ක් වැය කර ලබාගත් මෙගාවොට් එකක ප්‍රමාණයේ ජෙනරේටර් 50ක් ජාතික පද්ධතියට සම්බන්ධ නොකිරීම බවට තොරතුරු වාර්තා වේ. ඉන්දියාවෙන් මිලදී ගත් එම විදුලි ජනන යන්ත්‍ර කන්ටේනර්වල ජංගම ජනන යන්ත්‍ර ආකාරයෙන් පාවිච්චි කළ හැකි ආකාරයට භාවිත කිරීමට සැලසුම් කර ආනයනය කර ඇත. ඉන් තුල්හිරියේ ජෙනරේටර් එකක්ද, කොළොන්නාවේ ස්ථාන දෙකක ජෙනරේටර් 10 බැගින් විස්සක්ද, මතුගම ඉතිරි ජෙනරේටර් 20ක්ද ස්ථාපිත කර තිබේ. කෙසේ වෙතත් මේ වන තෙක් මතුගම ස්ථාපිත කර ඇති ජනන යන්ත්‍රයේ විදුලිය ජාතික පද්ධතියට එකතු කර නොමැත. කොළොන්නාවේ ස්ථාපිත කර ඇති ජෙනරේටර් 20න් දහයක වැඩ ආරම්භ කර සති දෙකක් යන විට එන්ජින් අක්‍රිය වී ඇත්තේ එහි ලිහිසි තෙල් නොමැති වීම නිසාය. ඊට මෙරට ලිහිසි තෙල් නොගැළපෙන අතර ඒ සඳහා අවශ්‍ය ලිහිසි තෙල් ඉන්දියාවෙන් ආනයනය කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය ලිහිසි තෙල් ලීටර් 1200ක් ආනයනය කිරීමට තවත් සති දෙකක කාලයක් ගත වන බව වාර්තා වේ. මීට අමතරව තුල්හිරියේ ස්ථානගත කර ඇති ජෙනරේටර් 10න් 2ක් පමණක් වැඩ ආරම්භ කර ඇති අතර එහිදී එන්ජින් ඔයිල් නොමැති වීමෙන් ජෙනරේටර් 2ක් ක්‍රියාවිරහිතව තිබේ. ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් පැවසුවේ මෙසේ ආනයනය කළ විදුලි ජනන යන්ත්‍ර සීත රටවලට ගැළපෙන ඒවා වන අතර අධික ලෙස රත්වීම නිසා ක්‍රියාවිරහිත වන බැවින් ඒ සඳහා ශීතකරණ පද්ධතියක් ද මේ සමග ඇණවුම් කර ඇතත් ඒවා නොලැබුණ බවයි. ඊට අමතරව සෑම විදුලි ජනන යන්ත්‍රයක් සමග ට්‍රාන්ස්ෆෝමරයක් ලබා දිය යුතු බවත් ඉන් 25ක් පමණක් ලැබී ඇති බවත්ය. දහවල් කාලයට මෙගාවොට් 2300 විදුලි ජනන ශක්තියක් හා රාත්‍රී කාලය මෙගාවොට් 2600ක ජනන ශක්තියක් අවශ්‍ය වේ. ඒ අනුව දැනට පවතින වියළි කාලගුණය හා විදුලි ජනන යන්ත්‍ර අක්‍රිය වීම නිසා අමතර මෙගාවොට් 350ක ප්‍රමාණයක් දෛනිකව අවශ්‍ය වේ. මේ සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධනගෙන් කළ විමසුමේදී ඔහු පැවසුවේ මෙම විදුලි ජනන යන්ත්‍ර ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර තිබුණේ නම් දැනට විදුලිය විසන්ධි කරන කාලය අඩු කර ගැනී‍මේ හැකියාව තිබූ බවයි. දැනට මතුගම ස්ථාපිත කර ඇති ජනන යන්ත්‍ර 20 කඩිනමින් ජාතික පද්ධතියට එකතු කිරීමත් දැනට අක්‍රිය වී ඇති අනෙක් කොළොන්නාවේ, හා තුල්හිරිය ජනන යන්ත්‍ර කඩිනමින් ප්‍රතිසංස්කරණය කර ජාතික පද්ධතියට එකතු කිරීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේය. චමින්ද සේනාරත්න
 

More News..