brand logo

විදුලිබල මණ්ඩලයේ බෝනස් එකට අතතියන්න බෑ

17 August 2022

අපිට කිසිම ගැටලුවක් නැහැ මහජන උපයෝගිතා කොමිෂන් සභාව එක්ක

විදුලි බිල සියයට 75ක අගයකින් පසුගියදා වැඩිවිය. ජනතාවට දවල් තරු පෙනෙන්නට පටන් ගත්තේ එවිටය. වසර ගණනාවක සිට වැඩි නොවී තිබුණේ විදුලි බිලය. දැන් එයද අහස උසටම වැඩි වී තිබේ. සැබැවින්ම විදුලි බිල වැඩි වූයේ කුමන පදනමක් මතද යන්න ලංකා විදුලිබල මණ්ඩලයේ ආයතනික ක්‍රමෝපාය සහ නියාමන කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නිහාල් වීරරත්නගෙන් විමසීමක් කළෙමු. අවුරුදු අටකට පස්සෙ විදුලි බිල වැඩිකරන්න කරල. දැන් රටේ ජනතාව ඉන්නෙ පාන් කියාගන්න බැරි තත්ත්වයක. එවැනි මොහොතක කළ මෙම වැඩිකිරීම ජනතාව කබලෙන් ළිපට ඇද දැමීමක් කියල තමයි බොහෝ දෙනා කියන්නේ... විදුලි බිල ඉහළ දැමීමට අනුමැතිය දෙන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව. ගිය වසරේ දෙසැම්බර් ඉන්ධන මිල ඉහළ ගියා. මාර්තු මාසේ නැවතත් වැඩි වුණා. ඒ එක්කම රුපියල පාකරන්න පටන් ගත්තා. ඉන්ධන මිල වැඩි වනවිට ජනන වියදම වැඩි වෙනවා. ඉන්ධන විතරක් නෙමේ සේවා සැපයුම් ලබාදීම ජනන යන්ත්‍රවලට අවශ්‍ය අමතර කොටස් සේරම අපි ආනයනය කළේ වෙනත් රටවලින්. වෙනද ගෙවන මිලට වඩා ඒවාට අපිට වැඩිපුර ගෙවන්න වුණා. පිරිවැය වැඩි වුණා මාර්තු මාසයේ. අප්‍රේල් මාසේ ආයෙම ඉන්ධන වැඩි වුණා. මේ හේතු නිසා පිරිවැය වැඩිවුණා. දෙදහස් දහසයේදී අපිට බිලියන පනස් අටක පාඩුවක් වුණා. ඒ ආදායම සහ වියදම අතර වෙනසක් ආපු නිසා. එතැනදී අපි මහජන උපයෝගිතා කොමිෂන් සභාවට කිව්වා අපේ අයක්‍රමය වෙනස කරල දෙන්න කියලා. කිසිම ප්‍රතිචාරයක් දැක්වුවේ නෑ ඒකට. එතකොට අපි ඉල්ලුවේ සාමාන්‍ය වැඩිවීමක් විතරයි. දෙදහස් දහහතේ ආයේම අපේ පාඩුව බිලියන අසූ එකක් වුණා. දෙදහස් දහ අටේ අපිට වැස්සක් ලැබුණ නිසා අපිට පාඩුව වුණේ බිලියන හතළිස් තුනයි. දෙදහස් දහනවයේ වැස්ස අඩුවුණා. ආයේම අපේ පාඩුව බිලියන එකසිය එකක් වුණා. දෙදහස් විස්සේ බිලියන පනස් හතරක පාඩුවක් වුණා. කොවිඩ් නිසා විදුලි ඉල්ලුම අඩු වුණත් ඒ වසරේත් පාඩු වුණා. මේ හැම පාරම අපි ඉල්ලීම් කළා අපිට විදුලි බිල වැඩි කරන්න දෙන්න කියලා සාමාන්‍ය ගාණකින්. නමුත් ඔවුන් ඒ සඳහා කටයුතු කළේ නෑ. දෙදහස් විස්සේ අපි ඉදිරිපත් කරපු අය ක්‍රමයට ඔවුන් ප්‍රතිචාර දැක්වූවේ දෙදහස් විසි එකේ නොවැම්බර් මාසේ. ඒක අනුමත කළේ සියයට විසි තුනකින්. ඒක අනුමත කළාට අපිට නිශ්චිත ගාස්තු ගැන කිව්වේ නැහැ. ඒ නිසා වැඩි වුණේ නැහැ. අපි 2016 මුල් වරට ඉල්ලුවේ සියයට පහකින් වැඩි කරන්න කියලා. ඒක එතකොට දුන්නනම් මේ ගැටලු එන්නේ නැහැ. රුපියල් දෙකයි පනහට එතකොට ඒකකයක් තිබ්බේ. ඉන් පස්සේ සිදුවන ඉන්ධන මිල ඉහළ යාම එක්ක විදුලි බිල ඉහළ යන තැනට වැඩ සිද්ධ වුණා. අවසානයේ මේ සියයට හැත්තෑ පහ දක්වා ආවා. විදුලිබල මණ්ඩලය කියන්නේ වාර්ෂිකව පාඩු ලබමින් දැවැන්ත අර්බුදයක තියන ආයතනයක්. එහෙම ආයතනයක සේවකයන්ට බෝනස් දෙන්න බැහැ කියලා පසුගියදා මහජන උපයෝගීතා කොමිෂන් සභාව කිව්වා. මොකක්ද මේ බෝනස් කතාව? මහජන උපයෝගිතා කොමිෂන් සභාවට තීරණය කරන්න බැහැ අපේ ආයතනයේ සේවකයන්ගෙ බෝනස් ගැන. ඒක තීරණය කරන්නේ අපේ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය. වසර තුනකට සැරයක් තමයි ඒක තීරණය කරන්නෙත්. කොමිෂන් සභාව කිව්වොත් එහෙම මණ්ඩලයේ සේවකයන්ට වැටුප් ගෙවන්න එපා කියලා පාඩු ලබනවා කියලා ආයතනයේ අපි ඒක කරන්න ඕනෙද? අපේ සේවකයන් විසිහය දාහක් ඉන්නවා රට පුරාම. ඒ සේවකයන්ට හිතුණ හිතුණ විදියට බෝනස් දෙන්න කටයුතු කරන්නේ නැහැ. ඒ වගේම ආයතනයේ සේවකයන්ගේ ක්‍රියාපටිපාටිය බලලා කාර්යක්ෂමතාව බලල තමයි බෝනස් එකක් දෙනව නම් දෙන්නේ. සේවකයන්ගේ වරදක් තියෙනව නම් කොහොමත් බෝනස්‌ එකක් දෙන්න අපේ අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කරන්නේ නැහැ. විදුලිබල මණ්ඩලයේ කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් ගැටලු තියෙනවා කියලත් චෝදනා නැගෙනවා නේද? ඕනෑම ආයතනයක රජය හෝ පුද්ගලික වේවා සියයට සියයක් කාර්යක්ෂමතාවක් නැහැ. මණ්ඩලයේ යම් යම් තැන් ති‍යෙනවා පසුබෑමට ලක්වුණු. සුනාමියක් ආවා මේ රටට විදුලි රැහැන් පද්ධති සේරම බිඳ වටුණා. රටම අවුල් ජාලාවක් වුණා. හැබැයි විදුලිබල මණ්ඩලයේ සේවකයන් මිනී ගොඩවල් අස්සෙන් ගිහින් ජීවිත අවදානමේ දාගෙන රටේ විදුලි පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කළා. අපි ආකර්යක්ෂම ආයතනයක් නම් එහෙම කරන්න බැහැනේ. උතුරේ යුද්ධයේ තිබුණ කාලයේ අපේ සේවකයෝ තමයි ප්‍රභාකරන්ගේ පාලන ප්‍රදේශවලට පවා ගිහින් විදුලි සැපයුම අඛණ්ඩව ලබාදෙන්න කටයුතු කළේ. හැමෝම කියන්නේ විදුලිබල මණ්ඩලයේ නාස්තියයි, වැරදියි, අපේ වැටුප් ගැනයි විතරයි. ඒ කාලේ අපි දෙවැනි වුණේ හමුදාවට විතරයි. ඉන්පස්සේ රටට කොවිඩ් වසංගතය ආවා, අපේ ඉහළ නිලධාරීන්ගේ ඉඳල පහළට යනකන්ම සේවකයන්ට කොවිඩ් හැදුණා. සමහර අය මැරුණා. එවන් විශාල ගැටලු මැද්දේ වුණත් අපි රටට අඛණ්ඩව විදුලිය දුන්නා. අපේ සේවකයන්ගේ කාර්යක්ෂමතාව අපි හොයනවා නිරන්තරයෙන්. සියයට එකක් දෙකක් වගේ විනය විරෝධී අය හිටියත් අපේ සෙවකයෝ අතිශය බහුතරයක් විනයානුකූලව කටයුතු කරනවා. විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාව අතර යම් විරසකයක් තියෙනවද? අපිට කිසිම ගැටලුවක් නැහැ මහජන උපයෝගිතා කොමිෂන් සභාව එක්ක. අපිටත් ඕනේ මේ ආයතනය එක්ක එකතු වෙලා වැඩ කරන්න. නමුත් ලංකා විදුලිබල මණ්ඩලයට තියෙන ගැටලුව තමයි මහජන උපයෝගිතා කොමිසම කිසිම සැලසුමක් වෙලාවට අනුමත නොකරන එක. එතැන තමයි අපි එක්ක ඝට්ටනය ඇති වෙන්නේ. අපි දරන මතය තමයි ඔවුන් මින් පෙර අපි විදුලි බිල වැඩි කරන්න අපි ඉල්ලපු වෙලාවේ අපිට එයට ඉඩ දුන්න නම් සියයට හැත්තෑපහක් වැනි ගණනකින් මේ වසරේ අපිට විදුලි බිල ඉහළ දාන්න වෙන්නේ නැහැ කියන එක. අපි වෙලාවට සැලසුමක් දෙනවනම් එයාල දැනගන්න ඕනේ ඒකට වෙලාවට අනුමැතියක් දෙන්න. සාම්පූර්හි අපි හදන්න ගියා ගල්අඟුරු බලාගාරයක්. නමුත් ඒක නැවතුණ හේතුව වුණේ දෙදහස් පහළොවේ රජය ආවට පස්සේ එයාලා තීරණය ගත්තා ප්‍රදේශයේ අයගේ විරෝධයක් ආව නිසා එතැන බලාගාරයක් හදන්න සුදුසු නැහැ කියලා. ඒකට සැලසුම හැදුවේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව. විදුලිබල මණ්ඩලයට අවස්ථාව දුන්නේ නැහැ. නමුත් ඔවුන්ට එහෙම අයිතියක් නැහැ. ඔවුන්ට පුළුවන් අපි හදන සැලසුම් අනුමත කරන එක විතරයි. අවසානයේ එය අසාර්ථක වුණා. බලාගාර වැඩෙත් නැවතුණා. ආයතන වෙන් වෙනම බෙදිලා චෝදන්න එල්ල කරන එක නෙමේ දැන් කළ යුත්තේ. අපිට අවශ්‍ය සියල්ලන්ම එකතු කරගෙන මහජනතාවට වඩාත් හොඳ සේවාවක් ලබාදෙන්න. විදුලිබල මණ්ඩලය පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති එන්න එන්නම පහු කරනවා, ඔවුන්ට ඒ සඳහා කිසිදු වුවමනාවක් නැහැ කියලා බොහෝ පාර්ශ්ව රැසක් චෝදනා කරනවා. මෙහි සත්‍යතාව කුමක්ද? පුනර්ජනනීය බලශක්තිය උපදවන ක්‍රමයක් ති‍යෙනවා. රජයේ ප්‍රතිපත්ති මේ සම්බන්ධයෙන් තිබුණට එය නිතර නිතර වෙනස් වුණා. එතකොට අපිට අපහසු වෙනවා මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනියන්න. අවසානයේ දෙදහස් තිහ වන විට සියයට හැත්තෑවක් පුනර්ජනනීය බලශක්තිය ජාතික විදුලිබල පද්ධතියට එකතු කරගන්න රජය ප්‍රතිපත්තියකට ආවා. වහල මත සවි කරන සූර්ය පැනල සහ බිම මත සවි කරන ලද සූර්ය පැනල ව්‍යපෘති මේ වන විට අපි ආරම්භ කරලා ඉදිරියට ගෙනියනවා. ධාරිතාව වැඩි සූර්ය පැනල ව්‍යපෘති තියෙනවා. පුනරීන් වගේ පළාත්වල තමයි ඒවා අත්හදාබැලීම් කරන්නේ. එහෙම තැනක විදුලිය නිපදවල සම්ප්‍රේෂණ පද්ධතියට සම්බන්ධ කරන්න ඕනේ. සමහර වෙලාවට ඒ පද්ධති සවි කරන පළාත්වලින් අවශ්‍ය තැනට සම්ප්‍රේෂණ මාර්ග ගිහිල්ල නැහැ. එතකොට විදුලිය ලබාගන්න විදියක් නැහැ. අපි කරන්න ඕනේ ඒ පද්ධතිය අලුත්වැඩියා කරල වැඩි දියුණු කරන එක. බංකොලොත් වෙච්ච ආයතනයකට අපේ වගේ කොහොමද මේ වැඩිදියුණු වීම කරන්නේ. මෙන්න මේ නිසයි අපිට ප්‍රශ්න එන්නේ. අපි කැමැතියි පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති ආරම්භ කරන්න නමුත් හැමෝම අපිට දොස් කිව්වට මේ වැඩපිළිවෙළ සිද්ධ වෙන විදියේ යම් ප්‍රමාදයක් වෙන්නේ අපේ ආයතනයේම ගැටලු නිසා නෙමේ. ලංකා විදුලිබල මණ්ඩලයේ වගකිවයුතු නිලධාරීන් කලට වෙලාවට බලාගාර ඉදි කරන්නේ නැතුව හදිසි මිලදී ගැනීම් සිදුකරන්නේ වාසි ලබාගැනීමේ පරමාර්ථයෙන්ද? හදිසි මිලදී ගැනීම් සිදුකරන්න වෙන්නේ බලාගාර නැති නිසා. බලාගාර නැති වෙලා තියෙන්නේ මණ්ඩලේ වරදින්ම නෙමෙයිනෙ. එකට පාර්ශ්වයන් ගණනාවක් වගකියන්න ඕනේ. අපිට විතරක් ඇඟිල්ල දිගු කරන්න කාටවත් බැහැ. මේ මිලදී ගැනීම් කරන්නේ අපි ටෙන්ඩර් පටිපාටියක් අනුව හිතු මනාපයට කරන්නේ නැහැ. එයට මිලදී ගැනීම් කමිටුවක් තියෙනවා. ඒ කමිටුවෙන් නිර්දේශ ඉදිරිපත් කරනවා. ඉන් පස්සේ කැබිනට් අනුමැතිය ගන්න ඕනේ. එක රැයෙන් මේක කරන්න බැහැ. විදුලිබල මණ්ඩලේ නිලධාරීන්ට එකවර තමන්ගේ කැමැත්තට එය කරන්න කොහොමත් බැහැ. මේ මිලදී ගැනීම්වල තියෙන විශේෂත්වය තමයි මොන ටෙන්ඩරය කරත් මේවා එන්නේ හදිසියේ. ඒ එන්නෙත් පොඩි කාලයකට. එතකොට මිල වැඩි වෙනවා. කවුරුන් හෝ රටින් විදුලි ජනන යන්ත්‍ර ගේනව නම් ඒ ගන්නේ කෙටි කාලයකට. ඒ නිසා මිල තවත් ඉහළ යනවා. මේ ප්‍රශ්නේ එන්නේ එතැනදී තමයි. නැතුව අපේ නිලධාරීන් මැදිහත්වෙලා වාසි ගන්න කටයුතු කරන්නේ නැහැ. ඇත්තටම කලට වෙලාවට බලාගාර ඉදි වුණා නම් මේක වෙන්නේ නැහැ. මෙතැනදී සියලුම දෙනා මීට අදාළ වගකීම භාරගන්න ඕනේ. විදුලිය සම්බන්ධව පාර්ශ්වයන් තුනක් ඉන්නවා. රජය ඉන්නවා, අපේ ආයතනය ඉන්නවා, නියාමන ආයතනය ඉන්නවා. මේ තුන එකට වැඩ කරන්න ඕනේ. එහෙම නැතුව නම් මේ ගැටලුවලට ස්ථිර සාර විසඳුමක් හොයන්න බැහැ. විදුලිබල මණ්ඩලය විතරක් විවේචනයට ලක්වන එක කෙතරම් අසාධාරණද? සංවාදය - අශිකා ජයවීර
 

More News..