brand logo

විදුලිබල මණ්ඩලයට වූ පාඩුවට හේතුව මෙන්න

09 October 2020

විදුලිය විසන්දි කිරීම, සම්බන්ධතා ලබාදීම සහ රැහැන්වලට හානි වන ගස්වල අතු කපා දැමීම වැනි කටයුතු රැසක් විදුලි බල මණ්ඩලය විසින් පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන්ට ලබා දී ඇතැයි ඇමැති ඩලස් අලහප්පෙරුම ඊයේ (08 වැනිදා) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. පෞද්ගලික අංශයට මෙම කාර්යයන් පැවරීමට පෙර විදුලිබල මණ්ඩලයේ සේවකයන් 16000ක් සිටි අතර පෞද්ගලික අංශය විසින් ඉහත කාර්යයන් කරද්දීත් අද සේවක සංඛ්‍යාව 26000ක් බවත් ඇමැතිවරයා කීවේය. 2015 දී රුපියල් බිලියන 2.3ක් වූ විදුලිබල මණ්ඩලයේ පාඩුව 2019 දී බිලියන 85.4ක් දක්වා ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් වන්නේ ඉහත කරුණ බව කී විදුලිබල ඇමැතිවරයා අවුරුදු හතක් තිස්සේ ජාතික විදුලි පද්ධතියට ජනන ව්‍යාපෘතියක් එක් කර නැතැයිද කීවේය. ඩීසල් මගින් විදුලිය ජනනය කිරීම සඳහා වසරකට රුපියල් බිලියන 100ක් දහනය කරන බව කී ඇමැතිවරයා 32%ක් වන ඩීසල් ජනනය 2025 වෙද් දී 5% දක්වා අඩු කිරීම රජයේ ඉලක්කය බවද කීය. මෙගා වොට් 300ක් එල්.එන්.ජී. බලාගාරයක් කෙරවලපිටියේ ඉදිකිරීම සඳහා මීට සති දෙකකට පෙර කැබිනට් අනුමැතිය හිමි වූ බව පැවසූ ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා ඉදිරි වසර තුන තුළ මෙගාවොට් 600ක් එල්.එන්.ජී. මගින් විදුලිය නිපදවීමට කටයුතු කරන බවද කීය. බදුල්ල දිස්ත්‍රික් (සජබ) මන්ත්‍රී චමින්ද විජේසිරි ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය. අජිත් අලහකෝන්
 

More News..