brand logo

විත්තිකරු නොමැතිව නඩුව පවත්වාගෙන යාමට අවසර දෙන්නේ ද? නැද්ද? - නියෝගය ලබන 24 වනදා

02 March 2020

මහත් ආන්දෝලනයකට තුඩුදුන් රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා දැඩි ලෙස රෝගාතුරව සිටින හෙයින් ඔහුගේ සහභාගීත්වය නොමැතිව නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන නියෝගය ලබන 24 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද(02) නියෝග කළේය. මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර අනුර සේනානායක මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. එහිදී පැමිණිල්ල මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුවේ විත්තිකරු දැඩි ලෙස රෝගාතුරව සිටින බවට කරුණු ඉදිරිපත් වී තිබෙන හෙයින් ඔහුගේ සහභාගීත්වය නොමැතිව නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 241 වන වගන්තිය යටතේ සාක්ෂි මෙහෙය වීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව විනිසුරුවරයාගේ අනුමැතිය පරිදි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතාගේ මෙහෙයවීම යටතේ විත්තිකාර අනුර සේනානායක මහතාට ප්‍රතිකාර කරනු ලබන පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන මහතාගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදු කෙරිණි. රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරයාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබාදුන් වෛද්‍ය බලවර්ධන මහතා කියා සිටියේ තමා මේ වන විට වසර 40 කට ආසන්න කාලයක් වෛද්‍ය වෘත්තියේ නිරතව සිටින බවත් එම කාලසීමාව තුළ පිළිකා රෝගීන් ලක්ෂ 2කට අධික සංඛ්‍යාවකට ප්‍රතිකාර සිදුකර ඇති බවයි. මෙම නඩුවේ විත්තිකාර අනුර සේනානායක මහතා මුඛ පිළිකා රෝගයකින් පෙළෙන බවත් ඔහු ඉකුත් වසරේ සැප්තැම්බර් මස ප්‍රතිකාර ලබාගැනීම සඳහා තමා වෙත පැමිණි බවත් වෛද්‍ය බලවර්ධන මහතා සඳහන් කළේය. ඉන් අනතුරුව තම අධීක්ෂණය යටතේ විත්තිකාර සේනානායක මහතා ශල්‍යකර්මයකට භාජනය කෙරුණු බවත් එම ශල්‍යකර්මයෙන් අනතුරුව ඔහුගේ කතා කිරීමේ හැකියාව සම්පූර්ණයෙන්ම අඩුවූ බවත් වෛද්‍යවරයා සඳහන් කළේය. රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා සාක්ෂිකාර වෛද්‍යවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් දැනට මෙම නඩුවේ විත්තිකරුට අධිකරණය හමුවේ පෙනී සිටීමට හැකියාවක් තිබේදැයි විමසා සිටියේය. ඊට පිළිතුරු දුන් සාක්ෂිකාර වෛද්‍ය බලවර්ධන මහතා දැනට පවතින වාතාවරණය මත විත්තිකරුට අධිකරණයට පැමිණ නඩු විභාගයට සහභාගිවීමේ සෞඛ්‍ය තත්ත්වයක් නොමැති බව පෙන්වා දුන්නේය. විත්තිකරුට ආහාර පාන සහ ඖෂධ සැපයීම නල මාර්ගයෙන් සිදු කෙරෙන බවත් එම ද්‍රව්‍ය සෑම පැය දෙකකට වරක්ම සැපයීමට සිදු වන බවත් අධිකරණය හමුවේ විස්තර කර සිටි සාක්ෂිකාර වෛද්‍ය බලවර්ධන මහතා මෙම වාතාවරණය මත ඔහුට අධිකරණය හමුවට පැමිණීම අපහසු බව සඳහන් කළේය. එමෙන්ම ඔහුගේ රෝගී තත්වය සුව වන දිනය පිළිබඳව නිගමනයක් ප්‍රකාශ කළ නොහැකි බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සාක්ෂි දෙමින් සඳහන් කර සිටියේය. මෙම සාක්ෂි සටහන් කර ගැනීම අවසන් වීමෙන් පසුව විත්තිකාර අනුර සේනානායක මහතා නොමැතිව මෙම නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන නියෝගය ලබන 24 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් නියෝග කරන ලදී. මෙහිදී විත්තිකාර අනුර සේනානායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.   (අධිකරණ වාර්තාකරු)
 

More News..