brand logo

විජය යාපනයේ සාම ගමනට එක්වූ හැටි

18 February 2019

දශක තුනක් පුරා දිග්ගැසුණ ඊළාම් යුද්ධයේදී ඉස්මතු වූ චරිත රාශියකි. එම පිරිස අතරින් සැලකිය යුතු පිරිසක් සමග කතාබහ කිරීමට මෙන්ම අඩුම තරමේ දැක බලා ගැනීමට මා හට වාසනාව තිබිණි. ඒ අතර ප්‍රභාකරන් ඇතුළු එල්.ටී.ටී.ඊ. ප්‍රධානීහු මෙන්ම දේශපාලනඥයන් වූ ජේ.ආර්. ජයවර්ධන, සිරිමා බණ්ඩාරනායක, ආර්. ප්‍රේමදාස, රෝහණ විජේවීර, ලලිත් ඇතුළත්මුදලි, ඇතුළු පිරිසක් වෙති. මේ අතරින් දේශපාලනඥයකු මෙන්ම කලාකරුවකුද වන විජය කුමාරතුංග මහතා ගැන මතකය විශේෂිතය.  විජය කුමාරතුංග මහතා යුද්ධය නවතා සාමය උදා කිරීමට අවංක උත්සාහයක් ගත් අයෙකි. චන්ද්‍රිකා මැතිනිය සමග ඉන්දියාවට ගොස් ඔහු ත්‍රස්තවාදී නායකයන් හමු වී සාකච්ඡා කළේය. මට විජය කුමාරතුංග වව්නියාවේදී දැක බලා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ 1986 අග භාගයේදී හෝ 1987 මුල් කාලයේදී වව්නියාව නගරයේදී අහම්බෙන්ය. විජය කුමාරතුංගගේ වව්නියාව හා යාපනය ගමනට මූලික වන්නේ 1985 මැයි මාසයේදී සිදු වූ අනුරාධපුර මහ මිනිස් ඝාතනයේ ප්‍රධානියා වූ මරුසාලිස් පියුස්ලස් හෙවත් වික්ටර්ය. එල්.ටී.ටී.ඊ. මන්නාරම සන්නද්ධ නායකයා වූ වික්ටර්ගේ කොටි බලකොටුව පිහිටි මන්නාරමට උතුරින් පිහිටි අඩම්පන් ප්‍රදේශය යටත් කර ගැනීම සඳහා හමුදා මෙහෙයුමක් ආරම්භ කරන්නේ 1986 ඔක්තෝබරයේදීය. මෙම මෙහෙයුමේදී යුද හමුදාව බලාපොරොත්තු නොවූ ලෙස ප්‍රතිප්‍රහාරයක් එල්.ටී.ටී.ඊ.යෙන් එල්ල විය. මන්නාරම සන්නද්ධ නායක වික්ටර් විසින් කොටි ගරිල්ලන් මෙහෙයවනු ලැබීය. මෙහිදී සිදුවූ තවත් සුවිශේෂී සිදුවීමක් වූයේ කොටි කාන්තා බළකායේ මුල්ම පුහුණු කණ්ඩායමද සටනට එක්වී සිටීමය. එයට හේතුවක් වූයේ ප්‍රභාකරන් විසින් කොටි කාන්තා බළකාය ඇති කළද එයට නායකත්වය දීමට සුදුසු පලපුරුදු කොටි කාන්තාවක් නොවීමයි. සියලුම තරුණියෝ ආධුනිකයන් වූහ. එම නිසා කාන්තා බළකාය මෙහෙයවීම භාර කෙරුණේ වික්ටර්ටය. හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු ලියුම්කරුට ප්‍රකාශ කළ පරිදි එල්.ටී.ටී.ඊ. ය විසින් වික්ටර් හඳුනාගෙන තිබුණේ විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණයක් නොමැති පුද්ගලයකු ලෙසිනි. ඒ නිසා ප්‍රභාකරන් විසින් දෙවරක් නොසිතා කොටි කාන්තාවන් වික්ටර්ට භාරදුන් බව කියති. මහනුවර ත්‍රිත්ව විදුහලේ අධ්‍යාපනය ලබා ඇති වික්ටර් සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනම මනාව හැසිරවිය හැකි කොටි නායකයෙකි. කෙසේ නමුත් දෙපාර්ශ්වය අතර සටනෙන් යුද හමුදාවට සැලකිය යුතු හානියක් සිදුවිය. 20ට වැඩි හමුදා සාමාජිකයන් පිරිසක් මරණයට පත්වූ අතර හමුදා මෘත ශරීර 10ක් කොටි අතට පත් විය. ඊට අමතරව හමුදා නිලධාරියකු ඇතුළු හමුදා සාමාජිකයන් දෙදෙනකු කොටි විසින් ජීවග්‍රහයෙන් අල්ලා ගනු ලැබිණි. මෙහිදී යුද හමුදාව ලද ජයග්‍රහණය වූයේ සටනේදී මන්නාරම කොටි නායක වික්ටර් මරා දැමීමයි. ඒ වන විට වික්ටර්ගේ වයස අවුරුදු 23ක් විය. කෙසේ නමුත් කොටින්ගේ ග්‍රහණයට හසු වූ හමුදා සාමාජිකයන් දෙදෙනාගේ තොරතුරු කොටි විසින් මාධ්‍යයට හෙළි කරනු ලැබීය. එමෙන්ම හමුදා සාමාජිකයන් දෙදෙනා මුදා හැරිය හැකි බවද ඒ සඳහා ඉල්ලීම්ද ඉදිරිපත් කරන ලදී. ඉල්ලීම වූයේ ඒ වන විටත් රජය විසින් අත්අඩංගුවට ගෙන සිටි කොටි සාමාජිකයන් නිදහස් කරන ලෙස ලැයිස්තුවක් ද ඉදිරිපත් කරන ලද්දේය. එම ලැයිස්තුවේ රජය විසින් ඉතාමත් වෙහෙස මහන්සි වී අත්අඩංගුවට ගනු ලැබූ කොටි ප්‍රබලයින් කීප දෙ​ෙනක්ම වූහ. ඒ නිසාම එවකට ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත් මුදලි මහතා හැරෙන තැපෑලෙන් කොටින්ගේ ඉල්ලීම ඉවත දමනු ලැබීය. මේ අවස්ථාවේදී හමුදා සාමාජිකයන් දෙදෙනා කොටි අත්අඩංගුවෙන් නිදහස් කර ගැනීමේ කටයුත්තට විජය කුමාරතුංග මහතා එක්විය. මෙහිදී එල්.ටී.ටී.ඊ. ය සමග සන්නිවේදන සබඳතා ඇති කරගත් විජය කුමාරතුංග කොටි හමුවීමට යාම සඳහා එවකට ජනාධිපති ජයවර්ධනගෙන් උදව් ඉල්ලීය. ජයවර්ධන මහතා විජය කුමාරතුංග ඇතුළු පිරිසකට යාපනයට යාම සඳහා ගුවන් පහසුකම් සපයන ලදී. සැබවින්ම ජයවර්ධන මහතා සිතුවේ විජය කුමාරතුංගගේ යාපනය සංචාරය අසාර්ථක එකක් වී ආපසු පැමිණෙනු ඇති බවයි. නමුත් යාපනයට ගිය කුමාරතුංග එල්.ටී.ටී.ඊ. ය සමග සුහදතාව වර්ධනය කරගනිමින් ආපසු පැමිණියේ නිදහස් කළ යුතු කොටි සිරකරු ලැයිස්තු 2-3ක සීමා කර ගනිමිනි. එමෙන්ම හමුදා සාමාජිකයන් දෙදෙනාගේ ඥාතීන් සමග නැවත යාපනයට පැමිණීමට දිනයක්ද යොදා ගනු ලැබිණි. විජය කුමාරතුංගගේ දෙවන එමෙන්ම තීරණාත්මක සංචාරයට සැලකිය යුතු පිරිසක් එක්ව සිටියහ. මේ සඳහා සංඝයා වහන්සේලා 10-15 පමණ එක්ව සිටි අතර එහි නායකත්වය දැරුවේ විජයගෙ මහජන පක්ෂයේ ක්‍රියාකාරිකයකු වූ පොහොද්දරමුල්ලේ ප්‍රේමාලෝක හිමියන්ය. (භීෂණ සමයේදී දේශප්‍රේමී ව්‍යාපාරය නමින් සිටි ජ.වි​.පෙ. විසින් උන්වහන්සේ ඝාතනය කරන ලදී) වැල්ලවත්තේ ඥානසිංහ මාදම්පාගම අස්සජී ඇතුළු සංඝ්‍ යා වහන්සේලා පිරිසක්ද වූහ. විශාල ප්‍රමාණයේ බස් රථයකින් පැමිණි යාපනය නඩය මුලින්ම පැමිණියේ වව්නියාව නගරයේ පිහිටි ශ්‍රී බෝධි දක්ෂිණාරාමයටයි. ‘‘විජේකුමාරතුංග වව්නියාවේ පන්සලට ඇවිත්’’ යන්න ආරංචිය අපට ලැබුණේ බොහෝ ප්‍රමාද වීය. ප්‍රවාහන පහසුකම්ද එතරම් නොමැති නිසා අප පන්සලට පැමිණෙන විට සිනමා නළු විජේ වව්නියාවේ සිට යාපනය බලා පිටත්ව ගොස් තිබිණ. වව්නියාවේ සිට මෙම නඩයට නායකත්වය දෙනු ලැබුවේ වව්නියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාම විහාරාධිපති සියඹලාගස්වැව විමලසාර හිමියන්ය. විහාරස්ථානයට හිතවත්ව සිටි වී මෝල් හිමියකු වන මහේෂ්වරන් මහතා ඔහුට අයත් වොක්ස්වැගන් වර්ගයේ මෝටර් රථය සමග පැමිණ තිබිණ. විමලසාර හිමියන් සහ මහේෂ්වරන් රැගත් රථය පෙර ගමන් රථයම ලෙස ඉදිරියෙන්ම ගිය අතර ඊට පිටුපසින් යාපනය නඩය රැගත් බස් රථය හා තවත් රථයක් ගමන් කළේය. විමලසාර හිමියන් පවසන පරිදි එම ගමන දුෂ්කර එකක් විය. උතුරට ඉන්ධන තහනම ක්‍රියත්මක වූ බැවින් ඒ -09 මාර්ගයේ රථවාහන ගමන් කළේම නැති තරම් ය. එමෙන්ම වව්නියාවෙන් ඔබ්බට අලිමංකඩ දක්වා පිහිටා තිබුණේ මාන්කුලම් හා කිලිනොච්චිය යන කඳවුරු පමණි. ඒ නිසාම වව්නියාව අලිමංකඩ අතර එල්.ටී.ටී.ඊ. පාලනයක් නොතිබුණද තැනින් තැන එල්.ටී.ටී.ඊ. සාමාජිකයෝ නිදැල්ලේ හැසිරුණහ. අලිමංකඩ හමුදා කඳවුර පසුකර කිලෝමීටර් 05ක් පමණ ගිය විට අයියකච්චි ප්‍රදේශයේ මුල්ම එල්.ටී.ටී.ඊ. මුරපොළ පිහිටා තිබුණ අතර එයින් ඔබ්බට කොටින්ගේ පාලනය ක්‍රියාත්මකව පැවතුණි. යාපනයට ගිය විජය කුමාරතුංග ඇතුළු පිරිසට යාපනය සුභාස් හෝටලයේ නවාතැන් පහසුකම් සපයා දී තිබිණ. පසුදින පිරිස යාපනයේ සංචාරය කළෝය. මෙම සංචාරයේදී යාපනය ජනතාව, පිරිස පිළිගෙන තිබුණේ ඉතාමත් උණුසුම් ලෙසය. බොහෝ පිරිස් විජය කුමාරතුංගගේ අත් ඇල්ලීමට පොර කෑ බව විමලසාර හිමි කියයි. එමෙන්ම එක් ස්ථානයකදී කොටි විසින් පැමිණි පිරිසට ගිනි අවි දී තිබුණේ ‘‘අපි ළඟ උණ්ඩ තියෙනවා උඩට වෙඩි තියන්න යැයි’’ කියමිනි. ඒ අතර කීප දෙනකුම ‘‘සාමි සාමි ඔයාලත් වෙඩි තියන්න’’ යැයි කියමින් ගිනි අවි සංඝයා වහන්සේලා වෙත දිගු කළ බවද විමලසාර හිමියෝ කියති. ‘‘අපි තුවක්කු පාවිච්චි කරන්නේ නැහැ’‘ යැයි කියමින් සංඝයා වහන්සේලා ගිනි අවි ප්‍රතික්ෂේප කර තිබුණ නමුත් එහි සිටි කීප දෙනකුම කොටින්ගේ ගිනි අවිවලින් ඉහළට වෙඩි කීපයක් තබා තිබිණ. එම සංචාරයේදී හෝ ඊට පෙර සංචාරයේදී විජය කුමාරතුංග​ විසින් කොටි ගිනි අවිවලින් වෙඩි කීපයක් තබා තිබුණි. විජය කොටින්ගේ ගිනි අවි සමග සිටින ඡායාරූප එකල මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරිණි. එම සිදුවීමෙන් වසරකට පමණ පසු විජයට වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසුව එම ඝාතනය සාධාරණීයකරණය සඳහා දේශප්‍රේමී ව්‍යාපාරය විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබුණි. මාද එය කියවීමි. එහි සඳහන් වූ එක් කාරණයක් වූයේ යාපනයේදී විජය විසින් එල්.ටී.ටී.ඊ. අවියකින් හමුදා අනුරුවකට වෙඩි තැබූ බවයි. නමුත් එහි ගිය පිරිස් එවැනි අනුරුවකට වෙඩි නොතැබූ බව කියති. විජයගේ සංචාරය අවසානයේදී යාපනයට පැමිණි නඩය හමුවීම සඳහා මාධ්‍යවේදීන් පැමිණි විට අපූරු දෙයක් සිදුව තිබුණි. එනම් එම ස්ථානයට පැමිණි පිරිසෙන් බහුතරය එල්.ටී.ටී.ඊ. හිතවාදී මාධ්‍යවේදීන් වූහ. ඇතැමෙකුට සිංහල භාෂාවද හැකිවිය. එහිදී මාධ්‍යවේදීන් සංඝයා වහන්සේලාගෙන් ඇසූ ප්‍රශ්න හා ලැබුණ පිළිතුරු මෙලෙස විය. ‘‘ඔබ වහන්සේලා යාපනයට එනකම් මෙහෙ දෙමළ ජනතාව මෙච්චර දුක් විඳිනවා කියලා දන්නේ නැතිද?’’ ‘‘නැහැනෙ මහත්තයෝ.’’ සංඝයා වහන්සේලාගෙන් පිළිතුරු ලැබිණ. ‘‘එතකොට හමුදාවෙන් බෝම්බ දාලා දෙමළ මිනිස්සුන්ව මරනවා, දේපොළ විනාශ කරනවා කියලා දැන ගත්තේ මෙහෙට ආවට පස්සෙද?’’ ‘‘ඔව්නෙ මහත්තයො. එහෙ ඉද්දි මේ කිසි හත්තිලව්වක් අපි දන්නේ නැහැනෙ’’ හාමුදුරුවන්ගෙ පිළිතුර එලෙස විය. එනපොට හොඳ නැති බව දැන ගත් විමලසාර හිමියන් වහාම පොහොද්දරමුල්ලෙ ප්‍රේමාලෝක හිමියන් වෙත ප්‍රකාශ කර ඇත්තේ මේ උන්නාන්සේලා හිතන්නෙ නැතිව කියන දේවල් එක්ක අපට ගම්වලට යන්න වෙන්නෙ නැහැ. මෙහෙම පදිංචි වෙන්න තමයි වෙන්නෙ යැයි කියමිනි. ඒත් සමග සංඝයා වහන්සේලා කැඳවූ ප්‍රේමලෝක හිමියන්, ‘‘මේ ස්වාමීන් වහන්සේලා මුනිවත රකින්න තුෂ්ණිම්භාවයෙන් ඉන්න මොනව හරි ගැටලුවක් තියෙනවා නම් මගෙන් අහන්න කියන්න’’ යනුවෙන් පැවසීය. මෙම සංචාරයේදී කොටි අත්අඩංගුවේ සිටි හමුදා සාමාජිකයන් දෙදෙනා හමුවීමට මෙන්ම කතා බහ කිරීමට එල්.ටී.ටී.ඊ.ය විසින් අවස්ථාව ලබාදී තිබිණ. සංචාරය අවසන් කළ පිරිස ආපසු ගමනේදී වව්නියාවට පැමිණෙන විට පස්වරුව වී තිබිණ. එම කාලයේ පස්වරු 3-4 වනවිට වව්නියාව නගර කඩ සියල්ල වසා දමන අතර නගරය පාළුව රජ කරමින් තිබිණ. තවත් කීප දෙනකු සමග නගරයේ පිහිටි අප නිවසට පැමිණ ජීවිත ආරක්ෂාව සඳහා නුවර පාරේ කිලෝ මීටර් 10ක දුරින් පිහිටි ප්‍රබෝධගම නිවසට යාම සඳහා කුමක් හෝ වාහනයක් පැමිණෙන තුරු සිටියේය. ඒ අතර විශාල ප්‍රමාණයේ බස් රථයක් පාළුවට ගිය වව්නියාව බස් නැවතුමේ නැවතුණි. මා එදෙස විශේෂයෙන් බැලුවේ මටද එහි යා හැකිද යන්න බැලීමටයි. ඒ සමග කවුදෝ කෙනකු විජය කුමාරතුංග, විජය කුමාරතුංග යැයි කියණු ඇසිණි. මා එදෙස බලන විට අප චිත්‍රපටවල දකින විජය පිරිස අතර විය. සෙස්සන් නගරයේ ඇවිදින අතර විජය තනිවම නගරයේ බස් නැවතුමේ කණුවකට හේත්තු වී හුන්නේය. නගරයේ සිටි ඇතැම් දෙමළ ජාතිකයන් කොළ කැබැලි රැගෙන ගොස් විජයගේ අත්සන් ගත්තේය. මා වැඩි වෙලාවක් බලා සිටියේ සිනමා නළු විජයගේ රූපකායයි. පසුව ආරංචි වූයේ රජය විසින් හමුදා සාමාජිකයන් මුදාගැනීමේ උත්සාහයට ආධාර නොකර වෙනත් ක්‍රමයකට කොටි සාමාජිකයන්ද මුදා හැර හමුදා සාමාජිකයන් මුදා ගත් බවයි. සිද්ධියෙන් දින කීපයකට පසු විජයගේ යාපනය සංචාරය පිළිබඳව සකස් කළ වීඩියෝ පටයක් ශ්‍රී බෝධි දක්ෂිණාරාම විහාරස්ථානයේ පෙන්වන බවට ලැබුණ තොරතුරක් මත අපි එහි ගියෙමු. විහාරස්ථානයට රැගෙන එනු ලැබූ ඩෙක් යන්ත්‍රයකින් සංචාරයේ වීඩියෝ පටය පෙන්වනු ලැබිණ. එමෙන්ම එහි කොටි විසින් ලබාදී තිබූ වික්ටර්ගේ අවමඟුලේ වීඩියෝ දර්ශනද විය. එම අවමඟුලට 20,000 පමණ පිරිසක් සහභාගි වූ බව පැවසිණි. කෙසේ නමුත් එම වීඩියෝ දර්ශන නැරඹීම සඳහා පෙරහරක් මෙන් පිරිස් වව්නියාවේ පන්සල වෙත ගියා මට මතකය. සනත් ප්‍රියන්ත
 

More News..