brand logo

විජයයි - කලනුයි - මමයි ඉන්ටවීව් ඇවිත් එක බංකුවේ වාඩිවෙලා උන්නේ

20 February 2020

අපේ ලාංකීය සිනමා වංශ කතාවේ වාණිජ සිනමාවට නැතුවම බැරි වූ රංගන ශිල්පිනියක් තමයි සමන්ති ලැනරෝල් කියන්නේ. විජය ධර්ම ශ්‍රී ගේ දුහුළු මලක්හි ‘ලෙච්චමී‘ ලෙස ඇය ඉදිරිපත් කළ ඒ අපූර්වතම රංගනය තාමත් අපගේ මතකයේ තියෙන්නේ ඒ චරිතය ජීවමාන කළ අපූර්වත්වය නිසාමයි. සිය ප්‍රතිභා පූර්ණ රංගන හැකියාව නිසා අසීමිත ප්‍රේක්ෂක ආදරය දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පිනියක් වූ 'සමන්ති ලැනරොල්' සිනමාව, පුංචි තිරය හා වේදිකාව ජයගත් රූපනවේදිනියක්. හැටේ දශකය අග භාගයේදී රංගනයට පිවිස සිනමාවට එක්ව මේ වෙද්දී අඩසිය වසක්ද ගතව තිබෙනවා. සිනමාවට ආ හැටි පළමු පියවර සිහිපත් කළේ මෙලෙසින්... ‘‘මගේ පෞද්ගලික ජීවිතේ ගත්තම නම් මගේ ළමා කාලය ගෙවුණේ සැප සම්පත් මැද. මොකද මම ඒ වෙද්දී වතු අධිකාරිවරයකුගේ දුවෙක්. ඒ කාලේ වයඹ පළාතේ හුඟක් වතු පාලනය කළේ අපේ තාත්තා. ඒ නිසා කිසිම අඩුපාඩුවක් නැතිව ගෙවුණු සුන්දර ළමා කාලයක් තිබුණේ. හැටේ දශකය අගභාගයේදී සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාවට නළු නිළියන් බඳවා ගන්නවා කියලා සරසවිය පත්තරේ දැන්වීමක් තිබුණා. මගේ මතකයේ හැටියට ඒ 1966 ඔක්තෝබර් මස නවවැනිදා. 'කොල්ලන්ගේ කතාවක්, කෙල්ලන්ගේ කතාවක්, සරසවියේ කතාවක්’ කියලා තමයි ඒ දැන්වීම පළ කරලා තිබුණේ. ඒ පත්තරේ අතේ තියාගෙන විජයයි, කලනුයි, මායි එක ළඟ වාඩිවෙලා ඉන්ටවීව් ආපු දවස අද වගේ මට මැවී පේනවා. පත්තරේ තිබුණු ඒ දැන්වීම නිසයි මම හන්තානේ කතාව චිත්‍රපටයට එකතු වුණේ. හන්තානේ කතාවේ මමයි ස්වර්ණා මල්ලවආරච්චියි, විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් දෙදෙනකුගේ චරිත දෙකටයි පණ පෙව්වේ. එහෙම ආරම්භ කරපු ගමන් මගේ, මම පසු කලෙක සරසවිය සම්මානයත් ලැබුවා. ඒක නම් මට මහ මෙරක් තරම්. ඊට පස්සේ මම රඟපෑ විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ ‘දුහුළු මලක්’ චිත්‍රපටයේ ලෙච්චමී කියන චරිතය නිසා මම ජනප්‍රිය වුණා. ගොඩක් අය හිතුවේ මම ඇත්තටම දමිළ තරුණියක් කියලයි. ඔය චිත්‍රපටය තිරගත වන කාලයේදී අපි හිටියේ ගම්පහ හෝලීක්‍රොස් විදුහල ළඟ ගෙදරක. දුහුළු මලක් තිරගත වුණත් එක්කම නිමල් වීරක්කොඩි සහ විල්ෆ්‍රඩ් ද සිල්වා අපේ ගෙදර ආවා. ඒ ඔවුන්ගේ චිත්‍රපටයකට මට ආරාධනා කරන්නයි. ටික වෙලාවකට පස්සෙ තවත් කාරෙකක් ආවා. ඒ ආවේ හර්බට් රංජිත් පීරීස්, ඔහුගේ චිත්‍රපටයකට ආරාධනා කරන්නයි. චිත්‍රපට දෙකටම ආරාධනා ලැබුණේ එකම දවසෙ. එදා මට කලා ජිවිතයේ සුවිශේෂ දවසක්. විල්ෆ්‍රඩ් ද සිල්වා ‘අක්කේ මට අවසරයි’ චිත්‍රපටයට කතා කළා. හර්බට් රංජිත් ආරාධනා කළේ ‘සිල්වා’ චිත්‍රපටයට. මට ෆ්‍රෙඩී සිල්වා එක්ක රඟපාන්න අවස්ථාව ලැබුණේ ඔය විදියට. වැඩිම කාලයක් ෆ්‍රෙඩී එක්ක රඟපෑ නිළියත් මං වෙන්න ඇති. මගේ පෙම්වතා හැටියට වැඩිපුරම රඟපාලා තියෙන්නෙ ෆ්‍රෙඩී සිල්වායි. ඒ වගේම නිහාල් සිල්වා, බන්දු සමරසිංහ සමගත් මං දිගු කලක් රඟපෑවා. මගේ සැමියා සෝමපාල ලැනරෝල්. ඔහුත් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ඔහු අධ්‍යක්ෂණය කළ 'කිරි කවඩි' චිත්‍රපටයේ මගේ පෙම්වතා වුණේ ලූෂන් බුලත්සිංහලයි. 'චතු මධුර' චිත්‍රපටයේ සනත් ගුණතිලක. සිනමාවේ මට ගොඩක්ම ලැබුණේ දුක් විඳින අයගේ චරිත. ඒ හැරෙන්න විජාතික චරිත සෑහෙන ප්‍රමාණයකුත් ලැබුණා. ඒ වගේම මම දිගින් දිගටම හාස්‍ය උත්පාදක චරිත රඟපාද්දී ඒ රාමුව බිඳගෙන වෙනස් චරිතයක් කරමු කිව්වේ ලෙස්ටර් මහත්තයා. මට තාම මතකයි එතුමා කිව්ව දේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වතාවක් මට කතා කරලා කිව්වා දැන් ඇති නේද කොමඩිවල රඟපෑවා. සමන්ති මගේ අවරගිර ෆිල්ම් එකේ ‘බිසෝ මැණිකේ’ චරිතයට කැමතිද කියලා. ඒ අනුව තමා බිසෝ මැණිකේ චරිතයේ වගකීම මට භාර වුණේ. ඊට පස්සේ සුනිල් ආරියරත්නගේ 'බඹා කෙටූ හැටි' චිත්‍රපටයේ 'මියුරියල්ගේ' චරිතයත් මගේ රංගන ජීවිතයේ සුන්දර සිහිවටනයක්. හැබැයි එදායින් පස්සේ විවිධ චරිත රඟපෑමේ මගේ හැකියාව ගැන එයින් මටම ඒත්තු ගැන්වෙන්න ගත්තා. එදා කරපු නිර්මාණවලට තවමත් මගතොටේදී වුණත් ලැබෙන ප්‍රතිචාර ගැන නම් තියෙන්නේ නිහතමානී සතුටක්. ‘ආදර රත්නෙ’ චිත්‍රපටයේ ‘ජුබිලි සුසාමෝ’ සින්දුවට අහිගුණ්ඨික නැටුමක් නැටුව ජවනිකාව තවමත් හුඟ දෙනෙක් ආදරයෙන් සිහි කරන මගේ රංගනයක්. වේදිකා නාට්‍ය විසි හයක මම රඟපාලා තියෙනවා. ජයසේකර අපොන්සුගේ 'සීමා බන්ධන' කියන වේදිකා නාට්‍යයෙන් තමයි සමන්ති ලැනරෝල් කියන රංගන ශිල්පිනිය වේදිකාවට හඳුන්වා දුන්නේ. පුංචි තිරයේත් 250කට ආසන්න නිර්මාණ ප්‍රමාණයකට රඟපාන්න අවස්ථාව හිමි වුණා. චිත්‍රපට නැති වුණාට පස්සේ අපි ජීවත් වුණේ මේ ටෙලිනාට්‍යවලින්. ළඟදී රඟපෑවේ දෙරණ නාළිකාවේ විකාශය වන 'දෙවැනි ඉනිම' ටෙලි නාට්‍යයේයි. ඒ ටීචර්ගේ චරිතය නොසිතූ විදියට මිනිසුන් අතරට ගියා. ආපස්සට හැරිලා බලද්දී නම් ජීවිතේ ගැන පුදුමත් හිතෙනවා. අවුරුදු 52 ක් තිස්සේ මම රඟපානවා. දොන් සිරිසේන, ඇන්තනි සී. පෙරේරා එක්ක පවා රඟපෑවේ මේ මං නේද කියලා හිතුණාම හරි සතුටක් දැනෙනවා. ඒ ආපු ගමන් මග සුන්දර එකක් නෙවෙයි. මග කටු කොහොල් පිරුණු එකක්. අපමණ දුක් විඳිමින් මං මේ මාවතේ ආවේ. රඟපෑම කියන්නේ ඒ තරම් දුෂ්කර කටුක එකක්. නමුත් මොනවා නැති වුණත් රඟපාන්නේ නැතිව ඉන්න නම් මට අදටත් හරි අමාරුයි. ඒ නිසා අදටත් ආරාධනා ආවම මම ගිහින් රඟපානවා.’’ අනුෂා රණසිංහ
 

More News..