brand logo

විග්නේශ්වරන්ගෙන් ජනාධිපතිට ඉල්ලීමක්

31 October 2019

දැනට බන්ධනාගාරගතව සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම හා උතුරු නැගෙනහිර ආරක්ෂක අංශ සතු ඉඩම් නිදහස් කිරීම වැනි කාරණාවන් ජනාධිපති සිරිසේන මහතා වෙනුවෙන් ඉතා කඩිනමින් හා කෙටි කාලයකින් ඉටුකළ හැකි වන බැවින් අදාළ කාරණා ඉටු කරදීමට කටයුතු කරන ලෙසට තමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීම් කළ බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පවසයි. විග්නේශ්වරන් මහතා පැවසුවේ ජනාධිපතිධූරයේ කාලසීමාව අවසන්වීමට තවත් සුළු කාලයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පවතින බැවින් ජනාධිපතිවරයාගෙන් අදාළ ඉල්ලීම් කළ බවයි. ජනාධිපති සිරිසේන මහතා ජනාධිපති ලෙස පත් කිරීම වෙනුවෙන් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව මහත් මැදිහත්වීමක් කළ බැවින් අදාළ ඉල්ලීම් ඉටු කිරීම වෙනුවෙන් සිරිසේන මහතාට දකුණේ ජනතාවගෙන් බලපෑමක්ද එල්ල නොවනු ඇති බවද හෙතෙම පැවසුවේය. දෙමළ ජනතාවගේ ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් දෙමළ ජනතාව එවැනි මැදිහත්වීමක් කළ බැවින් සිරිසේන ජනාධිපතිවරයා තමා ජනාධිපති ලෙස පත් කළ දෙමළ ජනතාවගේ ඉල්ලීම් දිනාදීම වෙනුවෙන් අවසන් අවස්ථාවේදී හෝ කටයුතු කිරීම දෙමළ ජනතාවට සිදුකරන කළගුණ සැළකීමක් වන බව විග්නේශ්වරන් මහතා පවසයි. සිය ධූරය අවසන්වීමට පෙර ඉටු කිරීමට හැකි කටයුතු කිහිපයක් පවතින බවත් අදාළ ඉල්ලීම් ඉටු කිරීම වෙනුවෙන් සිරිසේන මහතා කටයුතු කරන්නේ නම් දෙමළ ජනතාවට සිරිසේන මහතා වෙනුවෙන් දැක්වු සහයෝගයට යම් සාධාරණයක් ඉටුවනු ඇති බවද හෙතෙම ප්‍රකාශ කරයි. වවුනියාව - මාධව කුලසුරිය
 

More News..