brand logo

විගණන පරීක්ෂකවරු සියලු විගණන කටයුතුවලින් ඉවත් වෙන්න යති

26 February 2020

විගණන සේවා ව්‍යාවස්ථාව මෙතෙක් ලබා නොදීමට එරෙහිව ලබන දෙවැනිදා සිට සියලුම විගණන කටයුතුවලින් ඉවත් වීමට විගණන පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර ඇත. මෙම සේවය ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් මීට පෙර කළ ඉල්ලීම්වලට,උද්ඝෝෂණ ක්‍රියමාර්ගයන්ට මෙතෙක් පිළිගත හැකි ප්‍රතිචාරයක් නොලැබුණු බව එම සංගමයේ සංවිධායක ලේකම් ප්‍රියන්ත හේරත් ‘අරුණ’ට ඊයේ (25 වැනිදා) පැවසීය. විගණන අධිකාරීවරුන් නියෝජනය කරන විගණන සේවා සංගමය ද තම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළ කරන බවත් ඒ මහතා කීවේය. විගණන සේවය මෙතෙක් නොපිහිටුවීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම ජාතික විගණන පනත ද උල්ලංඝනය වී ඇතැයි දැනුම් දෙමින් ජාතික විගණන කාර්යාල නිලධාරින්ගේ ව්‍යවස්ථාපිත සේවාව වන රාජ්‍ය විගණන සේවාව පිහිටුවීමට මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා විගණන පරීක්ෂක සේවා සංගමය ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දරගෙන් ලිඛිත ඉල්ලීමක් කළේ ඉකුත් දෙසැම්බර් මාසයේ දී බවත් හෙතෙම කීවේය. විගණන සේවය නොපිහිටුවීම නිසා රාජ්‍ය මූල්‍ය පාලනයට අදාළව විගණනයන් ඉටු කිරීමට විගණන සේවා නිලධාරීන්ට නීත්‍යනුකූල බලයක් හෝ වගකීමක් නොමැති වාතාවරණයක් නිර්මාණය වී ඇති බවත් එම සංගමය ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී තිබිණි.   නිලන්ත මදුරාවල
 

More News..