brand logo

වික්ටෝරියා ජලාශයේ බැම්ම අවදානම් තත්ත්වයක

19 November 2020

වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශවල මහා පරිමාණයෙන් සිදු කෙරෙන හුනුගල් කැණීම් නැවැත්වීමට පියවර නොගතහොත්, ඉදිරියේදී ඇතිවන භූ චලනවලින් වික්ටෝරියා ජලාශයේ බැම්මටද යම් අවදානම් තත්ත්වයක් ඇතිවනු ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ, භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පැවසුවේය. වික්ටෝරියා ජලාශය පිහිටි ප්‍රදේශයේ සියයට 75 ක පමණ භූමියේ පොළොව අභ්‍යන්තරයේ ඇත්තේ හුනුගල් පාෂාණය බවද ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා කීවේය. කාලයක් යද්දී මෙම හුනුගල් තට්ටු දිරාපත්ව, කුහර ඇතිවන බවත්, මතුපිටින් පීඩනය වෙද්දී මෙම පාෂාණ තට්ටු නැවීමකට ලක්වන බවත්, ආතතිය නිසා මේවා කඩා වැටීමෙන් කම්පන තත්ත්වයන් ඇතිවන බවද ඔහු සඳහන් කළේය. මෙම සිද්ධීන් පිළිබඳව දැඩි ලෙස නිරීක්ෂණය කළ යුතු බවත්, වහාම ජලාශය ආශ්‍රිත ප්‍රදේශවල හුනුගල් කැණීමේ කටයුතු නතර කළයුතු බවද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි. ප්‍රදේශයේ ඇතැම් ස්ථානවල අඩි 80 ක් 90 ක් ගැඹුරට හාරා හුනුගල් කැණීම් සිදුකරන බවත්, මේ නිසා පොළොව අභ්‍යන්තරයේ කුහර වැඩි වශයෙන් නිර්මාණය වන බවද ඔහු සඳහන් කරයි. මෙම තත්ත්වය දිගටම පැවැතියොත් ඉදිරි කාලයේදී මෙම ප්‍රදේශවල තව තවත් භූ කම්පන ඇතිවනු ඇතැයිද ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා කීවේය. සාලිය කුමාර ගුණසේකර
 

More News..