brand logo

විකල්පයක් ලෙස නව පක්ෂයක් බිහිවේවි

23 November 2019

සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවපු ප්‍රධානම චරිතයක් ඔබ. ඒ නිසාම සජිත්ගේ පරාජයටත් ඔබට ඍජුවම වග කියන්න වෙනවා? මැතිවරණ ව්‍යාපාරයේ මෙම පසු බෑමට පැහැදිලිවම වග කියන්න ඕනා එජාප ආණ්ඩුවයි. එජාප ආණ්ඩුවට රටේ දැඩි අප්‍රසාදයක් තිබුණා. එය සජිත් ප්‍රේමදාසට බලපෑවා. ඒ වගේම මැතිවරණ ව්‍යාපාරයේ මුහුණ දෙන්න වුණු තවත් ගැටලු කිහිපයකුත් තිබුණා.එකක් තමයි සජිත්ට නාම යෝජනා භාරදුන්නේ ජනාධිපතිවරණය නිවේදනය කරලත් සතියකට පස්සෙයි. සති හතරක වගේ කෙටිකාලීන මැතිවරණ ව්‍යාපාරයක් තමයි කරන්න වුණේ. අනෙක් කාරණය තමයි මැතිවරණ ව්‍යාපාරයේ ඇතැම් මැති ඇමැතිවරුන් කරපු විවිධ කතාබහ. එවැනි කතාබහ අපට දැඩි ලෙස අවාසි සහගත වුණා. කවුද මේ අවාසි සහගත කතා කළේ? මම කියන්නම්. එකක් තමයි මැතිවරණ ව්‍යාපාරය අවසාන කටේදී ‘මිලේනියම් චැලේන්ජ් ගිවිසුම’ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරමින් කළ එළිදැක්වීම. එය දැඩි ලෙස අවාසි සහගත වුණා. සිංහල බෞද්ධ ඡන්ද එජාපයෙන් ගිලිහී යාමත් තදින්ම බලපෑවා. අඩු තරමෙ පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල දෙස බලවත් වෙනස්කමක් ඇතිකරගන්න කටයුතු කළේ නැහැ. ඒ වගේම එජාපයේම ඇතැම් අය කකුලෙන් ඇද්දා, බාධා කිරීම් කළා කියන එකත් අපට වාර්තා වුණා. කකුලෙන් ඇද්දේ කවුද? අවාසිසහගත ප්‍රකාශ කළේ කවුද? මම නම් ගම් කියන්න කැමැති නැහැ. මම මේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වුණේ සජිත් වෙනුවෙන්. ඔහුගේ ඉල්ලීම මත. මම සහ ඉම්ටියාස් බාකීර් මාකාර් ඇතුළු තවත් බොහෝ පිරිසක් එලෙස මෙම මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වුණා. ඔබ නම් ගම් නොකිව්වට නලින් බණ්ඩාර හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා කියනවා රනිල්, සජිත්ගේ කකුලෙන් ඇද්දා කියලා? එතුමා එහෙම කිව්වට රටට අර්බුදකාරී ප්‍රකාශ කරන්න මම කැමැති නැහැ. මේ සියලු කාරණා සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස විග්‍රහයක් කර එය කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡාවට ගනියි කියා මා විශ්වාස කරනවා. ඒ නිසා මට ඉස්සරහට පනින්න ඕනකමක් නැහැ. නමුත් හැමෝම දන්නවා මොකක්ද සිද්ධ වුණේ කියලා. රටේ ජනතාව බලාපොරොත්තු වුණේ අලුත් ආණ්ඩුවක්. ඇතැම් අය හිතුවා සජිත් මේ ගමන යන්න හදන්නේ විවිධ චෝදනා එල්ලවෙච්ච කණ්ඩායමක් එක්ක කියලා. ඒ සම්බන්ධයෙන් සජිත් ප්‍රකාශයක් කළත් එය සාර්ථක වුණේ නැහැ. තැපැල් ඡන්දයට පෙර දින රනිල් ප්‍රකාශයක් කරනවා සජිත්ගේ ආණ්ඩුවෙත් අගමැති තමා බවට. එය සජිත් ප්‍රේමදාස සමග එකඟත්වයකින් කරන ලද්දක් බවටයි පෙනෙන්නේ? එවකට අගමැතිවරයාගේ එම ප්‍රවෘත්ති සාකච්ඡාව සහ ප්‍රකාශය එතුමාගේම ප්‍රකාශයක්. සජිත් ප්‍රේමදාස හෝ මැතිවරණ මෙහෙයුම් ව්‍යාපාරය මේකට සම්බන්ධ නැහැ. නමුත් සජිත් ඊට ප්‍රතිචාර දැක්වූ බවක් පෙනෙන්න තිබුණේ නැහැ? තමා ජනාධිපති වූ පසු නව අගමැතිවරයෙක් පත්කරන බවට සජිත් ප්‍රකාශ කළේ, ඊට ප්‍රතිචාර දක්වමින් තමයි. ඉන් එහාට ප්‍රතිචාර දක්වන්න ගියා නම් පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයක් ඇති වෙනවා. මට විශ්වාසයි හිටපු අගමැතිවරයාගේ එම ප්‍රකාශය මගිනුත් සජිත්ගේ මැතිවරණ ව්‍යාපෘතියට යම් බාධාවක් වුණා කියා. සජිත් හැමවිටම කිව්වේ මමයි, මගේ ප්‍රතිපත්ති හැදුවේ. මගේ ගමනක් තමයි මම යන්නේ කියලා. මේ ‘‘මම’’ ප්‍රකාශය නිසා එජාපයේ වෙන්වීමක් බෙදීමක් තිබෙන බවක් බැලූ බැල්මට පෙනුණා. මෙයත් වෙච්ච අවාසියක් නේද? එහෙම කියන්න වුණේ අර චෝදනාවන්ට ලක් වූ කණ්ඩායම්වලින් බැහැරව අලුත් ගමනක් යන බව පෙන්වා දීමටයි. මැතිවරණ ප්‍රකාශය ගත්තත් ඒ පුරාම තිබුණේ සජිත්ගේ අදහස් උදහස් තමයි. නමුත් ඔහු තනිවම නෙවෙයි ප්‍රතිපත්ති ප්‍රකාශය හැදුවේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විද්වත් මණ්ඩලයක් ඊට හවුල් වුණා. සජිත්ගේ අදහස් අරගෙන මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය හැදුවයි කිව්වොත් තමයි වඩා නිවැරැදි. සිරිකොතේ එක මැතිවරණ ව්‍යාපාරයක්, වොක්ෂෝල් වීදියේ තව මැතිවරණ ව්‍යාපාරයක් මෙලෙස තැන් තැන්වල ඉඳගෙන මැතිවරණ මෙහෙයවීමක් යම් බෙදීමක ලකුණු පෙන්නුවා? ඇත්තෙන්ම එහෙම ප්‍රශ්නයක් නැහැ. 2015 මෛත්‍රීපාලගේ මැතිවරණ ව්‍යාපාරයත් එක තැනකින් සිද්ධ වුණේ නැහැ. සිරිකොතේ, වොක්ෂෝල් වීදියේ සහ තිඹිරිගස්යායේ තමයි මෙවර සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වූයේ. ඒක ගැටලුවක් නෙවේ. ගැටලුවක් වුණේ මහ බැංකු බැඳුම්කර හරහා ආණ්ඩුවට එල්ල වූ අපවාදය, පාස්කු ප්‍රහාරයේ වගකීම පැහැර හැරි බවට ජනතාවට ඒත්තු යාම, මැතිවරණයට පෙර දින පිටිමිල වැඩි කරන බවට වූ ප්‍රචාර වැනි කාරණායි. එම කරුණු සජිත්ට අවාසියට බලපෑවා. පාන්පිටි මිල වැඩිකරන බවට වූ ප්‍රචාරය ආණ්ඩුව දැනගෙන හිටියේ නැද්ද? දන්නවද නැද්ද කියන්න මම දන්නේ නැහැ. නමුත් මුදල් අමාත්‍යාංශයවත්, වෙළෙඳ අමාත්‍යාංශයවත් මේ ගැන නොදන්නා බවයි කිව්වේ. ආණ්ඩුවේ අපේක්ෂකයා හැටියට සජිත්ට මේ සියල්ලට වගකියන්න වුණා. මේවායින් පෙනෙන්නේ ආණ්ඩුව ඇතුළෙම පැහැදිලි බෙදීමක් තිබුණ බවනේ? මම ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මැතිවරණ කටයුතුවලදී ඇතැම් මැති ඇමැතිවරුන්ගේ දායකත්වය ඍජුවම නොලැබී යන තත්ත්වයක් මම දැක්කා. මේ සියල්ලේ අවසාන ප්‍රතිඵලය වුණේ පරාජයයි. ඒකෙන් හැමෝටම ගෙදර යන්න වුණා. ඒත් එජාපයේ පිරිසක් නව ආණ්ඩුව සමග එකතු වෙන්න යන කතාබහක් පැතිරෙනවා? එහෙම වුණොත් ඒක ජනමතයට පයින් ගැසීමක්. සජිත්ගේ ජයග්‍රහණයට ඍජුව දායක නොවූ කණ්ඩායමද මේ ආණ්ඩුව සමග එකතු වෙන්න යන්නේ? කවුරු එකතු වෙනවද නැද්ද කියන එක මම දන්නේ නැහැ. නව ජනාධිපතිවරයා දිව්රුම් දෙන අවස්ථාවේ අනුරාධපුරේ ගියේ ඒ කට්ටියද? ඒ කතාවේ සත්‍යයක් නැතුවා නෙවෙයි. ඒ උත්සවයට නිල වශයෙන් අගමැති රනිල් සහභාගි වීම එකක්. එහෙත් සෙසු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වය ගැන ජනතාවගේ දැඩි අප්‍රසාදයක් තිබෙනවා. ආරාධනයක් නැතිවද ඒ අය ගියේ? ඒක මම දන්නේ නැහැ. ආරාධනා කළත් මේ අවස්ථාවේ තමන්ගේ පාක්ෂිකයන්ගේ මතය තේරුම් අරගෙන වැඩ කළා නම් තමයි හොඳ? අර්ජුන, දයා ගමගේ ඇතුළු පිරිසක් තමයි එහි ගියේ? ඔවුන්ට ලැබුණු ජනතා ප්‍රතිචාරය අපි දැක්කනේ. එවැනි ප්‍රතිචාරයක් ලබාගන්න ඒ උත්සවයට ගියේ ඇයි කියලා ඔවුන්ම කල්පනා කළ යුතුයි. හිටපු ඇමැති රාජිත ‘සුදු වෑන්’ රියැදුරන් කියලා දෙතුන් දෙනකුම මාධ්‍යයට පෙන්නුවා. ඒ වගේම ප්‍රතිවාදී අපේක්ෂකයාට එරෙහිව පහත් පෙළේ වීඩියෝ දර්ශන මාධ්‍යයට මුදාහැර තිබුණා? මේවා අපේ අනුදැනුම ඇතිව සිදු වූ දේවල් නොවේ. එවැනි බොහෝ කතා වේදිකාවලදීත් වුණා. ඒවා කිසිවක් අපේ අනුමැතියක් හෝ අනුදැනුමක් ඇතිව වුණේ නැහැ. හැබැයි මම එක දෙයක් කියන්න ඕන. ජයග්‍රහණයට පියවරු බොහෝමයක් හිටියත් පරාජයට පියවරු නැහැ. සජිත් දින්නා නම් මේ බොහෝ අය කියයි අපේ ක්‍රියාමාර්ග නිසා තමයි ජයග්‍රහණය කළේ කියලා. පරාජය වුණාට පස්සේ අන්න අහවලා නිසා පරාජය වුණා, කියලත් කියයි. ඒක තමයි දේශපාලනයේ ස්වරූපය. රාජිතගේ මේ වැඩ ගැන සජිත් දරපු ස්ථාවරය කුමක්ද? ඔය හැම දේම බලන්න එතුමාට වෙලාවක් තිබුණේ නැහැ. අපේ මැතිවරණ ව්‍යාපාරය කොටස් 31 කට බෙදලයි තිබුණේ. අංශ තිස් එකකින් ක්‍රියාත්මක වුණා. එම කොටස් 31 මගින් විවිධ ප්‍රවර්ධන කටයුතු වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි ඡන්ද ලක්ෂ 55 ක් දක්වා ඉදිරියට යන්න අපට හැකියාව ලැබුණේ. මට මතක හැටියට පළාත් පාලන මැතිවරණයේදී එජාපයට ලැබුණේ ඡන්ද ලක්ෂ 34 ක් පමණ වෙන්න ඕනෑ. ඒ අනුව බලපුවම ලක්ෂ 55 විශාල ජයග්‍රහණයක්. එහෙමනම් ඇයි සජිත් ප්‍රේමදාස කලකිරීමෙන් ඉන්නේ? එතුමා දැඩි වෙහෙසකයි ඉන්නේ. කලකිරීමක් නෙවෙයි. ඔහු කියන්නේ ජනතාවට වැඩ කරන්න තමාට අවංකවම වුවමනාවක් තිබුණත් ජනතාවගෙන් පිරිසක් එය පිළිනොගත් බවයි. ඒ නිසා ජනතාව පිළිගත් කෙනාට එම අවස්ථාව දිය යුතු බව කියනවා. නමුත් 2015 ඡන්ද ලක්ෂ 58 ක් ගත්ත මහින්ද රාජපක්ෂලා, පරාජය වුණු දවසේ සිටම යළි සංවිධානය වුණා. තමන්ට ඡන්දය දුන්නු ලක්ෂ 58 ක ජනතාව වෙනුවෙන් පෙනී සිටියා. ? අපිත් අපට ඡන්දය දුන් අය වෙනුවෙන් පෙනී සිටිනවා. කව්ද කියන්නේ අපි පෙනී සිටින්නේ නැහැ කියලා. ඔය විරුද්ධවාදීන් කියන කතා. අපේ වොක්ෂෝල් වීදියේ කාර්යාලය හැමදාම ඇරලා. සජිත් ‌ප්‍රේමදාස තව දින කිහිපයකින් පාක්ෂිකයන් මුණගැහෙන්න උදව් කරපු අයට ස්තුති කරන්න කටයුතු කරනවා. සජිත් ප්‍රේමදාස කියන්නේ කොන්දක් ඇතුව වැඩකරන නායකයෙක්. දේශපාලන වේදිකාවේදී සජිත් විවිධ පොරොන්දු දෙද්දී ගෝඨාභය වැඩි වශයෙන් කතා කළේ රටේ ආරක්ෂාව ගැන. ජනතාව ඒක පිළිගත්තා? ඔව්. පාස්කු ප්‍රහාරයෙන් පසු ආණ්ඩුව එහාට මෙහාට බෝලේ පාස් කර කර හිටියා. මිනිස්සු පීඩාවට පත් වුණා. එය බරපතළ වැරැද්දක්. ඒ වරද ආණ්ඩුවේ සියලු දෙනා පිට පැටවෙනවා. එවකට කැබිනට්ටුවේ හිටිය සජිත්ටත් මේ ගැන වගකීමක් තිබෙනවා තමයි. එහෙත් ඔහු නෙවෙයි. ආරක්ෂාව භාරව සිටියේ. ඔහු ඇමැතිවරයෙක් පමණයි. නමුත් තීරණාත්මක අවස්ථාවලදී සජිත් ප්‍රේමදාස නිහඬව සිටියා හැර වචනයක්වත් කතා නොකළ බවට චෝදනා ගැහෙනවා? මහ ලොකුවට කතා නොකළට සජිත් පාස්කු ප්‍රහාරයෙන් පසු ජන ජීවිතය නගා සිටුවීමට විශාල වැඩකොටසක් කළා. කොච්චිකඩේ පල්ලිය, කිඹුලාපිටිය පල්ලිය නැවත ප්‍රතිසංස්කරණය වුණේ ඔහුගේ නායකත්වයෙන් තමයි. කාදිනල්තුමන් පවා ඒ පිළිබඳ ප්‍රශංසා කළා. එහෙත් කතෝලික ජනතාවගේ බහුතර ඡන්ද මෙවර එජාපයට ලැබුණේ නැහැ? ඔව්... යම් බලපෑමක් වුණා. ඒක අපි පිළිගන්නවා. ඔබට හිතෙන්නේ නැද්ද ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස තේරීමෙන් යම් ගැටලුවක් ඇති වූ බව? පැහැදිලිවම නැහැ. කරු ජයසූරිය ඉදිරිපත් කළා නම් මීට වඩා ප්‍රගතියක් ගන්න තිබුණේ නැද්ද? මේ අභියෝගය බාරගන්න මේ අවස්ථාවේ හිටිය හොඳම සුදුස්සා සජිත් ප්‍රේමදාස පමණයි. කරු ජයසූරිය කථානායකවරයගෙත් ආශිර්වාදය සහ සහයෝගය සජිත් ප්‍රේමදාසට නොඅඩුව ලැබුණා. මේ අවස්ථාවේ එය අගය කළ යුතුයි. සජිත් පරාජය වුණේ ඔබ නිසයි කියලා යමෙක් කිව්වොත්? පහළ තැනින් ගලාගෙන යනවා වගේ මගේ පැත්තට යමෙක් ඇඟිල්ල දිගුකරන්න පුළුවන්. නමුත් සජිත් ප්‍රේමදාස මා කළ සුවිශේෂී කාර්යභාරය ගැන ඇගයීමෙන් කතා කරනවා. ඔබ යන යන පැත්ත හැමදාම පරාද වෙනවා කියලත් කියනවා? ඔය චෝදනා කරමින් මට ඇඟිල්ල දිගු කරන අයගෙන් මම අහන්නේ මට වටිනාකමක් නැතිනම් ඇයි මහින්ද රාජපක්ෂත්, මා රඳවාගන්න උත්සාහ කළේ. මෙවරත් ඔහු නිතර කිව්වා අපත් සමග වාඩිවෙන්න එන්න කියලා. මහින්ද රාජපක්ෂ ඔබට කතා කළාද? ඔව් මට කතා කළා. ගෝඨාභය කතා කළාද? ඔව්. ඔහුත් මට කතා කළා. එකතුවෙලා වැඩ කරමු කිව්වා. එහෙත් මම සජිත් ප්‍රේමදාස තෝරා ගත්තා. ඔහු කෙරේ මට විශාල විශ්වාසයක් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් ලෙස පක්ෂයට විශාල සේවයක් කළ කෙනෙක් තමයි සජිත්. ඒ නිසයි මම ඔහුට සහාය දෙන්න තීරණය කළේ. කවුරු මොනවා කිව්වත් මෙම මැතිවරණයට මා දුන්න සහයෝගය ගැන සජිත් ප්‍රේමදාස මට ප්‍රශංසා කළා. ඒ මට හොඳටෝම ඇති. ඒ වුණාට ඔබ නියෝජනය කළ මහනුවර දිස්ත්‍රික්කයවත් ජයගන්න බැරිවුණා? ඒක ඒ ඒ දිස්ත්‍රික්කවල අය බලා ගන්න ඕන දෙයක්. මම දිස්ත්‍රික්කයක් නියෝජනය කළේ නැහැ. සමස්ත මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වූවා. මේක සාමූහික වගකීමක්. එක්කෙනකුට දෙන්නකුට සීමා කරන්න බැහැ. මේ පරාජය අප හැමෝගෙම පරාජයක්. අපිට උතුරේ ඡන්ද ලැබුණට දකුණේ සිංහල බෞද්ධ ඡන්ද ලැබුණේ අඩුවෙන්. ඒ නිසා නැවත ධෛර්යය ගෙන පක්ෂය හදාගත යුතුයි. උතුරේ ඡන්ද ලැබුණේ ඉල්ලීම් 13 කට එකඟ වුණු නිසානේ? ඒක අමූලික බොරුවක්. අපේ ප්‍රතිවාදීන් මේ බොරුව ගෙන ගියා. මමදන්නේ නැහැ එහෙම බොරු කියන්නේ ඇයි කියා. මම පැහැදිලිවම කියනවා සජිත් ප්‍රේමදාස ඔබ කියන ආකාරයට කිසිම ගිවිසුමකට, කොන්දේසියකට නොගිය බව. එජාපයේ නොවන පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළා නම් 2015 දී වගේ යම් ජයග්‍රහණයකට යන්න තිබුණා නේද? සජිත් තමයි පොදු අපේක්ෂකයා. ඒ ඇරෙන්න වෙන කෙනෙක් නැහැ. අඩුම ගානේ ජවිපෙවත් එක්කර ගත්තා නම් තව ඉදිරියට යන්න තිබුණා. මොකද මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රීලනිපයේ ඡන්ද ටිකත් ගිලිහී ගිය එකේ? ජවිපෙත් සමග කතා කළාද කියන්න මම දන්නේ නැහැ. කොහොම වුණත් ඒ වන විට ජවිපෙ වෙනම තරග කරන්න තීරණය කරලා තිබුණා. ශ්‍රීලනිපයේ ඡන්ද ටිකයි, ජවිපෙ ඡන්ද ටිකයි නොලැබී යනකොටම තේරුණේ නැද්ද ජයග්‍රහණය අපහසු බව. ඒ සියලු දෙනා සමග එකඟතාවයෙන් අපේක්ෂකයා ඉදිරිපත් කළා නම්? එහෙම නම් ඔබම කියන්නකෝ සජිත් හැර ඉදිරිපත් කරන්න තිබුණු අපේක්ෂකයා කව්ද කියලා. මම කියන්නේ පොදු එකඟතාවකට යන්න තිබුණා? නැහැ. ඔබ සම්පූර්ණයෙන්ම වැරදි මතයක ඉන්නේ. ඉස්සෙල්ලා කිව්වා කරු ජයසූරිය ඉදිරිපත් කරන්න තිබුණා කියලා. කරු ජයසූරිය කියන්නෙත් එක්සත් ජාතික පාක්ෂිකයෙක්. අපේක්ෂකයා පිළිබඳ තීරණය ගන්නේ එක්සත් ජාතික පෙරමුණ. ඒ අනුව සජිත් ඉදිරිපත් කරන්න තීරණය කළාට පස්සේ මම කළේ ඔහුට සහයෝගය දීමයි. මම පැහැදිලිවම පිළිගන්නේ නැහැ වෙන කිසිවකුට ඇවිල්ලා මේ සටන කරන්න පුළුවන්කම තිබුණා කියලා. සටනට හොඳම සුදුස්සා වුණේ සජිත්. වෙන කෙනෙක් පේන්නවත් නැහැ. 2015 වගේ අහුලලා ගෙනාවා නම් අන්ත පරාජයකට යන්න වෙනවා. ඔබ ඔය තරම් සජිත් ගැන, එක්සත් ජාතික පක්ෂය ගැන කතා කළාට එජාපයේ සාමාජිකත්වයවත් නැහැ නේද? මේ අවුරුදු දෙක තුනේ මට සාමාජිකත්වය දීලා නැහැ තමයි. ඒ වගේම වෙන මොනම දේශපාලන පක්ෂයකවත් සාමාජිකත්වය ලබාගෙන නැහැ. මම සජිත්ට සහාය දෙන්නයි ආවේ. එහෙත් මගේ හැඟීම එජාපය තවදුරටත් රැකිය යුතුය යන්නයි. එජාපය පූර්ණ ලෙසම වෙනස්විය යුතුව තිබෙනවා. ඒ වගේම නව ජනාධිපතිවරයාටත්, විශාල වගකීමක් තිබෙනවා ඔහුට ඡන්දය දුන් මෙන්ම නොදුන්නු සියලු දෙනා වෙනුවෙන් පෙනී ඉන්න. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තිබෙන අභියෝගයක් තමයි බිඳුණු සමාජය එකට එකතු කර ගැනීම. එසේ නැතිව යම් බෙදීමකින් යුතුව ගමනක් යන්න හැදුවොත් ඔහුගේ ගමන කෙටිකාලීන වේවි. ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ඔහු ආකර්ශනීය තීන්දු කිහිපයක්ම ගත්තා. රජයේ කාර්යාලවල ඔහුගේ ඡායාරූප එපා කිව්වා. පාරවල්වලට මන්ත්‍රීවරුන්ගේ නම් එපා කිව්වා. . ඔබට හිතෙන්නේ නැද්ද ගෝඨාභය රට හරියට කරයි කියලා? ඇත්තටම එවැනි තීන්දු ගැනීම ගැන මම කුහකත්වයෙන් තොරව ඔහුට ස්තුති කරනවා. හැබැයි එකක් අමතක කරන්න එපා. මෛත්‍රීපාලත් ආරම්භයේදී ඔවැනි තීන්දු තීරණ ගත්තා, ජනතාවාදී බවක් පෙන්නුවා. පසුව ජනතා න්‍යායපත්‍රය පැත්තකට විසි කරලා වැඩකරන නායකයෙක් හැටියට තමයි ජනතාවට පේන්න ගත්තේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ තත්ත්වයට පත් වුණේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහගේ ක්‍රියා කලාපය නිසා බවට ඇතැමුන් පවසනවා? ඕක ඔය මෛත්‍රීපාල සිරිසේන නිදහසට කියන කතාවක්නේ. එයානේ ජනාධිපතිවරයා. එයාට ඇයි බැරි නිවැරදි තීන්දු ගන්න. තමන් ඍජුව වැඩ නොකර වෙන කෙනකු නිසා තමන්ට වැඩ කරන්න බරිවුණා කියනවා නම් එයා ඉතාම අසාර්ථක නායකයෙක්. ගෝඨාභය ජනාධිපතිවරයාටත් ඒ අභියෝගයම තියෙනවා. මොකද එයා ජනාධිපති වුණාට වැඩ කරන්න වෙන්නේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා එක්කනේ. එයාගේ කාලේ එම පාර්ශ්වයේ අයට එල්ලවුණු දූෂණ චෝදනා එමටයි. ඒ නිසා අපි කාලයට ඉඩදී බලා සිටිනවා. මොකද වෙන්නේ කියලා. කොකා ඉගිලෙනකොටනේ සුද පේන්නේ. ගෝඨාභය රාජපක්ෂ රට හොඳ මාවතකට හැරෙව්වොත් ඔබ කැමැති නැද්ද ඔහු සමග එකතු වෙන්න? ඇත්තටම රට ගොඩනගන අලුත් වැඩපිළිවෙළක් යනවා නම් ඔහුට එකතුවීම කෙසේ වෙතත් ඒ ගමනට ආශිර්වාද කරමින් අපේ සම්පූර්ණ සහයෝගය ඊට ලබා දෙනවා. ඒකෙන් හැඟෙන්නේ නැහැ ඔහු සමග එකතුවෙලා තනතුරු වරප්‍රසාද ගන්නවා කියන එක. නමුත් හොඳ වැඩකට සහයෝගය දෙනවා. ඇමැතිකමකට ආරාධනා කළොත්? අද මම කිව්වා කියලා මතක තියාගන්න. කිසිම තනතුරක් භාරගන්න මම යන්නේ නැහැ. රට හරියට ගොඩගන්නවා නම් ස්වාධීනව ඉඳගෙන ඊට සහයෝගය දෙන්න මම පැකිළෙන්නේ නැහැ. ඊළඟට එන්නේ මහ මැතිවරණය. මොකද කරන්නේ? මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කරනවා. මම ඉන්නේ සජිත් ප්‍රේමදාසත් එක්කයි. ඔහු ගන්න තීරණයත් එක්ක ඉදිරි දේශපාලන ව්‍යාපාරයේ යෙදෙනවා. ඒ වගේම මහනුවර ජනතාව කෙරෙහි මට ලොකු විශ්වාසයක් තිබෙනවා. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයට එක් වෙනවා? එක්සත් ජාතික පක්ෂයත් එක්ක යන ගමනක්නෙ සජිත් ප්‍රේමදාසගෙන් වෙන්නේ. ඒ වුණාට පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ? ඒ සියල්ල තව මාස කිහිපයකින් පරිවර්තනය වෙයි. ඔහු නායකත්වයෙන් ඉවත් වෙනවද? දැන් තිබෙන හොඳම දේ පක්ෂය අලුත් කණ්ඩායමකට භාර දීමයි. මේක රනිල් වික්‍රමසිංහ මහත්තයට කරන අපහාසයක් හෝ අවතක්සේරුවක් නො​ෙ‌ව්. මොකද තවදුරටත් පක්ෂයට මෙහෙම යන්න බැහැ. ඒ ඔබ හිතන හැටි. එහෙත් නායකත්වය වෙන කෙනකුට දෙයිද? සජිත් අපේක්ෂකත්වය ගත්තේ කොයිතරම් අමාරුවෙන්ද? මම හිතනවා රනිල් වික්‍රමසිංහ මහතා මේ වෙලාවේ ඒ ගැන සුබවාදීව හිතලා තරුණයකුට තැන දෙයි කියා. කවුද ඒ තරුණයා සජිත්ද? ‘ඔව්’ වෙන කවුද? ඔබත් එජාපයේ හිටපු ලේකම්වරයෙක්. තවමත් මහලු නැහැ. ඔබ හිතනවා නිවැරදියි. ඒත් මගේ සහාය සජිත් ප්‍රේමදාසටයි. කෝ ඔබේ අලුත් පක්ෂය. ඒකට මොකද වුණේ? ඊට වඩා සජිත් ප්‍රේමදාස සමග එක්ව කටයුතු කරන එක හොඳයි කියා මම තීරණය කළා. අපි වෙන් වෙනවාට වඩා එකට කටයුතු කරන එක හොඳයි. ඔබට රනිල් වික්‍රමසිංහ මුණගැහුණද? ඔව් දේශපාලන කටයුතුවලදී කීප විටක්ම හමුවුණා. ඔබගේ පැමිණීම ගැන ඔහු සතුටින්ද? මුවින් නොකීවාට අකැමැත්තක් නැති බව හොඳටම පෙනුණා. දැන් ඔහොම වුණාට 2015 දී ඉල්ලා අස්වීමේ ලියුම ඉල්ලලා ඔබට බලපෑම් කළා? දේශපාලනයේ සදාකාලික මිතුරොත් නැහැ, හතුරොත් නැහැ. කියලා කියමනක් තිබෙනවානේ. මැතිවරණ ව්‍යාපාරයේ මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් විශාල වශයෙන් කතාබහට ලක්වෙනවා? ඒක කරුණු හරිහැටි නොදැන සිදුවන්නක්. වොක්ෂෝල් වීදියේ අපේ කාර්යාලයේ කළේ සංවිධාන කටයුතුයි. මම හිටියේ එතැනයි. මුදල් සම්බන්ධයෙන් කටයුතු කළේ මූල්‍ය කමිටුවක් මගින්. එහි ප්‍රධානත්වය දැරුවේ මලික් සමරවික්‍රම ඇතුළු පිරිසක්. ඔය චෝදනාව එන්නේ එම මුදල් කමිටුවටවත්, මටවත් නොවේ. නලින් බණ්ඩාර ඔවැනි කතාවක් මාධ්‍ය සාකච්ඡාවකදී කර තිබෙන්නේ​ වෙනත් පාර්ශ්වයක් ඉලක්ක කරගෙන බව මට දැනගන්න ලැබුණා. ඒ පිළිබඳව ඉදිරියේදී සවිස්තරව මාධ්‍ය දැනුවත් කරනවා. විපක්ෂ නායකයා කවුද? මන්ත්‍රීවරු බහුතරයක් ඉල්ලන්නේ සජිත්ව. ඉදිරියේ පක්ෂ නායක රැස්වීම්වලදී ඔය ප්‍රශ්නය විසඳෙයි. මට පේන්නේ තවදුරටත් එජාපයට සාමූහික ගමනක් යන්න අපහසුයි වගෙයි. සජිත්ට සිරිකොතෙත් දොරටු වැහුණා. නව පක්ෂයක් ගැනත් කතාවෙනවා. මොකක්ද ඇත්ත? මේ සියලු හැලහැප්පීම් අවසානයේ විසඳුමක් නොලැබුණොත් විකල්පයක් ලෙස නව පක්ෂයක් බිහිවේවි. තුෂාර උඩවත්ත
 

More News..