brand logo

වැලිගම තරුණයෙක් කොවිඩ් වෛරසය නසන යන්ත්‍රයක් සදයි

12 November 2020

දෛනික ජීවිතයේදී අපි භාවිත කරන මුදල්, ලිපි ලේඛන ආදියෙහි තිබිය හැකි කොවිඩ් -19 නව කොරෝනා වයිරසය පහසුවෙන් විනාශ කළ හැකි උපකරණයක් මාතර, වැලිගම පදිංචි නව නිපැයුම්කරුවකු විසින් නිර්මාණය කර ඇත. කැලුම් වාදසිංහ නමැති මෙම නව නිපැයුම්කරු මීට පෙරදීද නව නිපැයුම් රැසක් මෙරටට දායාද කළ අයෙකි. ඔහු නාවික හමුදාව සමග එක්ව නව නිපැයුම් රැසක් නිර්මාණය කිරීමට සමත් වූවේය. ඒ අතරින් බහුතරය ආරක්ෂක උපාංගයන්ය. කොවිඩ්-19 නව කොරෝනා වයිරසය ශරීරගතවූ පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීමේ කටයුතු පහසු කරන (ඖෂධ ලබාදීම ආදී කටයුතු) ට්‍රොලියක්, ගැඹුරු මුහුදේ ගමන් කරන ධීවර යාත්‍රාවල මත්ද්‍රව්‍ය ආදිය සෙවීම පහසු කරන විශේෂිත කැමරාවක් ආදියද කැලුම් වාදසිංහ තරුණයා විසින් මීට පෙරදී නිර්මාණය කර ඇත. ඔහුගේ අලුත්ම නව නිර්මාණය වන්නේ නව කොරෝනා වයිරසය විනාශ කළ හැකි මෙම උපකරණයයි. එය නිර්මාණය කිරීම සඳහා ඔහුට ගතවී ඇත්තේ දින දෙකක් තරම් කෙටි කාලයකි. මෙම උපකරණය ඔහු හඳුන්වාදෙනු ලබන්නේ HEAT CABIN යන නමිනි. මෙම උපකරණය තුළට මුදල්, මුදල් පසුම්බි, ලිපි ලේඛන ආදිය තැන්පත් කළ විට විනාඩි තුනක් තරම් කෙටි කාලයකදී එම භාණ්ඩවල කොරෝනා වයිරසය ඇත්නම් විනාශවී යෑමයි. මෙහි නිපැයුම්කරු කැලුම් වාදසිංහ සඳහන් කරන්නේ මෙම උපකරණය තුළ පලතුරු වර්ග, මාළු ආදිය තැන්පත් කිරීමේ හැකියාවක්ද පවතින බවයි. “ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එළි දක්වන ලද පර්‌යේෂණ පත්‍රිකාවක සඳහන් කර තිබෙනවා නව කොරෝනා වයිරසය සෙල්සියස් අංශක 59 දී විනාශ වන බවට. එම නිර්ණායක අනුවයි මෙම නිර්මාණය සකස් කර තිබෙන්නේ. මම සකස් කළ උපකරණ තුළින් සෙල්සියස් අංශක 70 සිට උපරිමය 85 ක් දක්වා ගමන් කරනවා. මේ නිසා මුදල්, මුදල් පසුම්බි, රන් භාණ්ඩ ආදියෙහි තිබෙන කොවිඩ්-19 නව කොරෝනා වයිරසය විනාඩි තුනක කාලයක් තුළදී සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. කොටින්ම කියතොත් අපි සෑම වෙලාවකදීම භාවිත කරන මුඛ ආවරණය පවා මෙම HEAT CABIN එක තුළට දැමීම මගින් එහි විෂබීජ විනාශ වෙනවා.”යැයි කැලුම් වාදසිංහ පවසයි. මෙම උපකරණය තුළදී මුදල් පසුම්බි ආදිය උණුවීමකට ලක් නොවන අතර අඟල් 08ක් පමණ උසැති මෙම උපකරණයේ දිග අඟල් 20 ක් වන අතර, පළල අඟල් 20 කි. “පොඩි බට්න් එකක් ප්‍රෙස් කළාම මෙම උපකරණය ක්‍රියාත්මක වෙනවා. එය ටයිමරයකට සම්බන්ධවී තිබෙනවා. රෝහල් ඇතුළු ඕනෑම ආයතනයක භාවිතයට ගත හැකි ආකාරයෙන් සකස් කර තිබෙනවා. උපකරණයේ වට ආවරණය තහඩුවලින් සකස් කර ඇති අතර, එහි ඇතුළත උණුසුම් වන්නේ වායුවද සමගවීම විශේෂත්වයක්.” යැයිද කැලුම් වාදසිංහ සඳහන් කරයි. මෙම උපකරණය නිර්මාණය කිරීම සඳහා කැලුම් වාදසිංහට හේතුවී ඇත්තේ ඔහුට මුහුණදීමට සිදුවූ සිද්ධියක් නිසාවෙනි. “ මම එක තැනකට ගියා බිලක් ඉල්ලා ගන්න. බිල නිකුත් කරපු කෙනා එය තවත් කෙනෙකු හරහායි දුන්නේ. දෙවනුවට බිල ගත් පුද්ගලයා සිය ලේන්සුවට විෂබීජනාශක දියර ටිකක් දාලා බිල පිහදලා තමයි ඔහු අතට ගත්තේ. ඒ වගේම සමහරු මුදල් පවා සෝදනවා. චීනයේ වූහාන්වල මුදල් සෝදන සිදුවීම් වාර්තා වුණා. මේ නිසා මම හිතුවා මේ වයිරසය අප එදිනෙදා භාවිත කරන දේවල්වල ගෑවුණොත් එය විනාශ කරන්න පුළුවන් උපකරණයක් සකස් කරන්න ඕනේ කියලා. ඒ අනුව තමයි මෙම උපකරණය නිර්මාණය කළේ. මේ සඳහා මට ගතවුණේ දින දෙකක කාලයක් පමණයි.” යැයි කැලුම් වාදසිංහ පවසයි. සාලිය කුමාර ගුණසේකර
 

More News..