brand logo

වැලිකඩ වාට්ටු දෙකක් හුදෙකලා කරයි

06 November 2020

වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් ආසාදිතයන් හත්දෙනෙකු වාර්තා වීමත් සමග සිරකරුවන් සිටි වාට්ටු දෙකක් ඊයේ (5 වැනිදා) වන විට හුදෙකලා ප්‍රදේශ ලෙස වෙන් කර ඇත. රෝගය ව්‍යාප්ත වීම වළක්වාලීමට මෙම පියවර ගත් බවත් පී.සී.ආර්. පරීක්ෂණවලින් ආසාදිතයන් වැඩිපුර වාර්තා වුවහොත් එම පිරිස් .පල්ලන්චේන හා බෝගම්බර සිරගෙදරට යොමුකරන බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ‘අරුණ’ට පැවැසීය. නිධන්ගත රෝග හා වියපත් අය වෙනම රැඳවීමට මෙහිදී පියවර ගෙන ඇත. පෙරේදා (4 වැනිදා) රාත්‍රියේ කොවිඩ් ආසාදිතයන් අතර වැලිකඩ සිරකරුවන් ලියාපදිංචි කරන නිලධාරියකු කාන්තා​ ඖෂධ සංයෝජකවරියක්, කාන්තා සිරකාරියන් තිදෙනකු හා පිරිමි සිරකරුවන් දෙදෙනකු වාර්තා වී තිබිණි. ඊයේ (5 වැනිදා) දිනයේ තවත් පිරිසක් උණ රෝග ලක්ෂණ පෙන්නුම් කළ බව බන්ධනාගාර ආරංචිමාර්ග කියයි. කාන්තා අංශයේ වෙනම වාට්ටුවක රඳවා සිටි කොළඹ වතු ආශ්‍රිත පදිංචි කාන්තාවන් තිදෙනකු ආසාදිතයන් වීමත් සමග එම වාට්ටුවේ සිටි ආශ්‍රිතයන් පනස්දෙනෙකු හුදෙකලා කර ඇත. කාන්තා අංශයේ 196 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ කර ඇති අතර ආසාදිත කාන්තාවන් තිදෙනා වැලිකන්ද රෝහලට යවා තිබේ. ඖෂධ සංයෝජකවරිය බොරැල්ල, වනාතමුල්ලේ පදිංචි බවත් ඇය කාන්තා වාට්ටුවට ගොස් ඇති බවත් අනාවරණය වේ. ඊ​යේ (5 වැනිදා) දිනයේ ආසාදිත වූ සිරකරුවන් ලියාපදිංචි කරන නියාමක නිලධාරියා අයි.ඩී.එච්. රෝහලට යවා ඇත. ඔහුගේ ළඟම ආශ්‍රිතයන් වූ පවුලේ සාමාජිකයන් හා බන්ධනාගාර නිල නිවාසවල සිටි හත්දෙනෙකු නිවෙස් තුළම නිරෝධායනයට යොමුකර තිබේ. වැලිකඩ පිරිමි අංශයෙන් හමු වූ සිරකරුවන් දෙදෙනකුද වැලිකන්ද රෝහලට පිටත්කර ළඟම ආශ්‍රිතයන් සියදෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇත. බන්ධනාගාරයට එවන සිරකරුවන් අනෙක් සිරකරුවන් හා සම්බන්ධ නොවීමට හැකි ලෙසින් වෙනම වාට්ටුවල රඳවා ඇති නිසා ව්‍යාප්ත නොවීමට හැකියාවක් තිබුණු බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පැවැසීය. වැලිකඩ සිරකරුවන් ලියාපදිංචි කරන නියාමකවරයාට ඉකුත් 30 වැනිදා සිට රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබේ. එහිදී ඔහු වැලිකඩ රෝහලේ වෛද්‍යවරයා වෙත ගොස් පී.සී.ආර්. පරීක්ෂණයක් ඉල්ලා ඇතත් එම ඉල්ලීම දෙවතාවක් ප්‍රතික්ෂේප කර යැවූ බව විමර්ශනවලදී හෙළි වී ඇත. තුන්වැනි වතාවේ මෙම නිලධාරියා පී.සී.ආර්. පරීක්ෂණයට යොමුකර ඇත්තේ වැලිකඩ ප්‍රධාන ජේලර්වරයාගේ මැදිහත් වීමෙනි. ඒ අනුව මෙම නිලධාරියා ස්වේච්ඡාවෙන්ම ගොස් කළ පරීක්ෂණයකදී ආසාදිතයකු බව වාර්තා වී ඇත. පසුගිය අප්‍රේල් සිට දිවයිනේ සියලුම බන්ධනාගාරවල පී.සී.ආර්. පරීක්ෂණ 6350ක් සිදුකර ඇති අතර එයින් පන්දහස් එකසියයක් වැලිකඩ හා කොළඹ බන්ධනාගාරවල බව බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත රණසිංහ පැවැසීය. තිස්ස රවීන්ද්‍ර පෙරේරා හේමන්ත ලියනපතිරණ
 

More News..