brand logo

වැලිකඩ බන්ධනාගාරයේ හෙරොයින් ජාවාරමේ නිරත වූ සිරකරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

28 August 2019

වැලිකඩ බන්ධනාගාරය තුළ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3.44 ක් සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු මීට ඉහත පෙර වැරදි නවයක් සහිත සිරදඬුවම් විඳිමින් සිටින සිරකරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් අද (28) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනු ලැබීය. 2012 වසරේ මාර්තු මස 3 වනදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විසින් වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු කරනු ලැබූ වැටලීමකදී මෙම සිරකරු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3.44 ක් සමග අත්අඩංගුවට ලැබීය. ඉන් අනතුරුව විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ඉදිරිපත් කරන ලදී. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විත්තිකරුට එල්ල කර තිබූ හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව සාක්ෂි මගින් ඔප්පු කර ඇතැයි ප්‍රකාශ කළේය. මෙම විත්තිකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වූ මත්කුඩු නඩුවක් සම්බන්ධයෙන් වරදකරු වී සිරදඬුවම් විඳිමින් සිටි අවස්ථාවේ මෙම වරද සිදු කර ඇති බවත් ඔහුට එරෙහිව පෙර වැරදි නවයක් පවතින බවත් පොලීසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් විත්තිකරුට ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරනු ලැබීය. (අධිකරණ වාර්තාකරු)
 

More News..