brand logo

"වැරදි කරන කිසිම කෙනෙක්ව අපි දේශපාලන වශයෙන් ආරක්ෂා කරන්නේ නැහැ"

22 May 2019

ඥාණසාර හිමියන් සම්බන්ධව ඇතිවී තිබෙන ගැටළුව නිරාකරණය කළයුතු බව විදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලද්දේ, බන්ධනාගාරගතව වැඩසිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බැහැදැකීමට අද (22) පෙරවරුවේ බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදීය. ඥාණසාර හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා...., "අපි දන්නවා ඥාණසාර හිමියන් සම්බන්ධව ඇතිවී තිබෙන ගැටළුව. එම ගැටළුව නිරාකරණය කළයුතුයි. ඒ හිමියන්ට ලබාදී ඇති දඩුවම් සාධාරණද නැද්ද කියලා සිතා බැලිය යුතුයි. අසාධාරණ තත්ත්වයක් ඇති වුණොත්, මේ තිබෙන ගැටළුව තවත් බැරෑරුම් වෙනවා. අපි නිතරම සැබෑ තත්ත්වය තේරුම්ගෙන ක්‍රියාකළ යුතුයි. නමුත් සිද්ධ වෙන්නේ ඒක නෙමෙයි. ප්‍රශ්නය ආසන්නයේම තිබෙන වෙනත් කාරණයක් ඉලක්ක කරගෙන, ඒ සාධකයට ප්‍රශ්නයක් ඇතිකරගෙන දගලනවා. " "අපි කොහොමද සමගිතාවයෙන් රටක් ඉදිරියට ගෙනයන්නේ, මේ ඛේදවාචකය නිමා කරලා කොහොමද ශ්‍රී ලංකා අනන්‍යතාවයක් ඇති කර න්නේ කියලා කතාකරන්නත් එක්ක තමයි අපි ඥාණසාර හිමියන් බලන්න ආවේ. අපේ මූලික පරමාර්ථය ත්‍රස්තවාදය නැති කිරීමයි. ඒ වෙනුවෙන් තරාතිරමක් නොබලා දඩුවම් කරන්න, ඒ සම්බන්ධයෙන් නායකත්වයක් දෙන්න තමයි අපට අවශ්‍ය වන්නේ. එහෙම නැතිව එක් පුද්ගලයෙක්ගෙ නමක් ඉදිරියට අරන්, ඒක වටේ වැටිලා, අනෙක් දේවල් වසන් කිරීම නෙමෙයි අපට අවශ්‍ය වන්නේ. මේ අවස්ථාවේදී යම් අය එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගේ නම් ඉදිරිපත් කරලා, මේ ප්‍රශ්නය නැති කරන්න පුළුවන් එතනින් කියලා කියනවා. අප කළ යුත්තේ තිබෙන ප්‍රශ්න උග්‍ර කිරීම නෙමෙයි. සාමාකාමී තත්ත්වයක් ඇති කිරීමයි අප කළ යුත්තේ. මෙවැනි ගැටළු නිරාකරණය කිරීමට තමයි තේරීම් කාරක සභාවක් පත් කරලා තිබෙන්නේ. මේ අවස්ථාවේදී අපි සැබෑ තත්ත්වය තේරුම් අරන් කටයුතු කිරීමයි. වැරදි කරන කිසිම කෙනෙක්ව අපි දේශපාලන වශයෙන් ආරක්ෂා කරන්නේ නැහැ. අපට අවශ්‍ය වන්නේ මේ කෲර ත්‍රස්තවාදය සහමුලින් ඉවත් කරලා දාන්නයි. "
 

More News..