brand logo

වැඩිහිටියන් වෙනුවෙන් ජීවිතය කැප කරනවා

14 March 2020

පුංචි තිරය හැඩ කරන පුංචි හැඩකාරිය දැනටමත් ලෝකය ඉදිරියේ අප රටේ නම සනිටුහන් කර ඇත. ඒ ඇගේ සමාජ සේවය වෙනුවෙනි. ඇගේ රංගනයද පසුගිය දිනක පැවැත්වූ රයිගම් නිර්දේශ නාම රාත්‍රියේ දී ඇගයීමට නිර්දේශ කෙරිණි. ඇය මිෂෙල් දිල්හාරාය. මේ දින වල වැඩිපුර ඔබ ගැන කතා බහ වෙනවා. මොකක්ද ඔබ අලුතින්ම අත ගැහුව කාරණාව? වයස 55 පිරුණු විශ්‍රාමික වැඩිහිටියන් වෙනුවෙන් දිවුලපිටියේ "සෙනෙහස් අරණ" නමින් වැඩිහිටි ප්‍රජා මධ්‍යස්ථානයක් ස්ථාපිත කළා. එහිදී පසුගිය 14 වැනිදා වැඩිහිටියන් 200 දෙනෙකුට ඇස් කණ්ණාඩි බෙදා දුන්නා. මෙවැනි මධ්‍යස්ථානයක් ඇති කරන්න හිතුවෙ ඇයි? අද තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කෙනෙක් විශ්‍රාම ගියාට පස්සේ ඒගොල්ලන්ට මොකද වෙන්නේ කියන එක. එයාලගෙ සම වයසේ යාළුවන් මෙලොව අත්හැරලා ගිහිල්ලා, එහෙම නැත්තම් ළමයි සමග ඈත පැතිවලට පදිංචියට ගිහිල්ල එහෙම නැත්නම් දරුවන් නොසලකලා හැරලා නිසා වැඩිහිටි නිවාසවල ජීවත් වෙන පිරිස, එයාලා විඳින තනිකම නිසා විවිධ මානසික රෝගවලට පත්වෙනවා .. අද අපි ජීවත් වෙන අධික කාර්යබහුල සමාජ රටාව නිසා නිවෙස්වල සිටින විශ්‍රාමික වැඩිහිටි අම්මලා තාත්තලා සමග කතාකිරීමට, වෙලාව ගත කිරීමට අපිට නොහැකි වෙනවා. එයාලව නොදැනුවත්වම මගහැරෙනවා. මේ සඳහා පිළියමක් විදිහට යම් ප්‍රදේශයක තනිවී සිටින මෙවැනි සියලු විශ්‍රාමික දෙමව්පියන් ගෙන්වා elderly community center එකක් හරහා නව සම්බන්ධතා ඇති කරගැනීමට අවස්ථාවක් උදාකර දෙන්න තමයි අවශ්‍ය වුණේ. මේ මධ්‍යස්ථානයෙන් වැඩිහිටියන්ට සැලසෙන සේවාවන් මොනවද? ප්‍රජා මධ්‍යස්ථානය හරහා වැඩිහිටියන්ට එයාලගේ සම වයසේ යළුවෝ හම්බෙන්න පුළුවන් , එයාලට කතා කරන්න, එකට කාලය ගත කරන්න, ඊට අමතරව පොත් කියවන්න, බණ පොත්, එයාලා කැමැති film බලන්න, එයාලා කැමැති සින්දු අහන්න.. කැරම් ගහන්න, දාම් අදින්න, tv බලන්න, මේ හරහා එයාලගේ යළුවෝ නැවතත් එයාලට හම්බෙන්නෙ පුළුවන්.. ඒ වගේම අලුත් යාළුවො කොටසක් මේ දෙමව්පියන්ට මේ ප්‍රජා මධ්‍යස්ථානය හරහා හම්බෙනවා. මේ සංකල්පය හරියට පොඩි කාලේ අම්මයි තාත්තයි ළඟ විතරක් හැදුණු වැඩුණු අපිව අලුත් සමාජයත් සමග අලුත් සම්බන්ධතා ඇති කිරීමට ඉස්සර අපිව ඉස්කෝලෙට භාරදුන්නා වගේ. මොන්ටසෝරියට ගිය පළමුවෙනි දවසේ කොච්චර යන්න බෑ කියලා ඇඩුවත් ටික කලකින් පන්තියේ යාළුවො 50 ක් විතර අපේ ජීවිතයට එකතු වෙනවා. මේ ප්‍රජා මධ්‍යස්ථානයට තනියම ආපු අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ට අද යාළුවෝ 200 ක් 300 ක් ඉන්නවා. තවදුරටත් තනිකම කියන හැඟීම මෙතන ඉන්න අයට නෑ. විශේෂයෙන්ම මේ කාලෙදී එයාලා කැමැති බණ අහන්න නම් ඒ සඳහා සෑම මසකම දෙවතාවක් ධර්ම දේශනාවන් දෙකක් සහ විශේෂ භාවනා වැඩසටහනක් පවත්වනවා. මේ වගේ නොයෙකුත් ක්‍රියාකාරකම් අපි මේ ප්‍රජා මධ්‍යස්ථානය හරහා ඔවුන්ට ලබා දෙනවා. මේ වනවිට රජරට විශ්වවිද්‍යාලය මේ වැඩිහිටියන්ගේ මානසික අභිවෘද්ධිය උදෙසා මෙම ආයතනයේ දේශනා පවත්වනවා. මේ සියල්ල කළේ ඔබ තනිවම ද? අනේ නැහැ. මේ සංකල්පය මගේ වුණත් එය මේ තරම් ඉක්මනින්, සාර්ථකව ඉටු කරගැනීමට බොහෝ දෙනකුගෙන් උදව් උපකාර අනුශාසනා ලැබුණා. විශේෂයෙන් මතක් කරන්න ඕන චරිත කිහිපයක් ඉන්නවා. ඒ සිතුවිල්ල සිතුවිල්ලක් වෙන්නට නොදී සමාජ මෙහෙවරක් වුණේ ඔවුන්ගේ ශක්තිය නිසයි. ගනේවත්ත පුරාණ බෝදිමලු විහාරයේ විහාරාධිපති පණ්ඩිත අතිපූජ්‍ය වරාදල විමල බුද්ධි ස්වාමින්වහන්සේගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් තමයි එය පැවැත් වුණේ. මගේ ආදරණීය මිතුරිය මනූෂා නවරත්න සිහිපත් කරන්න ඕන. ඒවගේම තමයි ධනුෂ්ක ක්ලාක්, පසිඳු මදුරංග සොයුරන් දෙදෙනාත් උදව් උපකාර කළා. මුලින්ම මිෂෙල් ගැන කතා බහක් ඇති වුණේ ක්ෂේත්‍රයට ආ ගමන්ම නේද? ඔව් මම මගේ 21 වැනි උපන්දිනයට ළමා නිවාසෙක ළමයි ටිකක් සිනමන් එකට එක්කන් ආවා. ගොඩාක් දෙනෙක් ඒකට ප්‍රශංසා කළා. ඇතැම් තීරු රචකයන් එයාලගෙ තීරුවල මං ගැන ලියලා තිබුණා. මම කරපු දේ හොඳයි කියලා ලියවුණු ලිපි මට ලොකු ශක්තියක් වුණා දිගටම සමාජ සේවයේ යෙදෙන්න. මම එදා ඒ සොයුරියන් එවැනි තැනකට කැඳවාගෙන යාම පිටුපස සංවේදී කතාවක් තිබුණා. අපි අහන්න කැමැතියි ඒ කතාව? මම අවුරුදු පහළොවේ විතර ඉඳන් ළමා නිවාසෙක ඉංග්‍රීසි භාෂාව උගන්වන්න යනවා. මම තරු පන්තියේ හෝටලයක උත්සවයකට ගිය පින්තූරයක් තමයි මගේ දුරකථනයේ තිරයට දාලා තිබුණේ. මේක දැකපු කුඩා දැරිවියක් මගෙන් ඒ ගැන විස්තර ගොඩාක් ඇහුවා. අහලා අහලා අන්තිමට එයා කිව්වා "අක්කේ අපිට නම් කවදාවත් එහෙම තැනකට යන්න බැරි වෙයි නේද?" කියලා. මම එදා හිතුවා කවදාහරි එයාලව එක්ක යනවා කියලා. මම එයාලගෙ හිතේ ඇති කළා ඒකෙනුත් ඉගෙනීමේ වටිනාකම මොකක්ද කියන එක. විසි දෙවෙනි උපන්දිනයටත් ඔබ වෙනස් දෙයක් කළා නේද? ආර්ථික අපහසුකම් තිබෙන පවුල් 250 ක් තෝරගෙන හාල් කිලෝ එක්දහස් හාරසියයක් බෙදා දුන්නා. මිෂෙල්ගෙ පොතකට ජාත්‍යන්තර සම්මානයක් හිමිවුණා. ඒ මොකක්ද? ඔව් මම Social Invisibility is not a Fiction it Exists (සමාජ අදෘශ්‍යමානතාවය මිථ්‍යාවක් නොව එය පවතින්නක්) කියලා පොතක් ලිව්වා. ඒක ආවට ගියාට ලියපු එකක් නෙවෙයි. අවුරුදු හතරක් පර්‌යේෂණ කරලා ලියපු පොතක්.ඒ පර්‌යේෂණවලදී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඇන්ටනෙට් පෙරේරා, සමාජ ජාලා නිරීක්ෂකයෙක් වශයෙන් කටයුතු කරන තිළිණ ධනුෂ්ක අබේවික්‍රම, විශේෂඥ වෛද්‍ය පරාක්‍රම වර්ණසූරිය, මහාචාර්ය වරුණ චන්ද්‍රකීර්ති යන මහත්ම මහත්මීන් උදව් උපකාර හා උපදෙස් ලබාදුන්නා. ඒ පොතට තමයි ඉන්දියාවේ නව දිල්හි නුවරෙදි පැවැත් වුණු ලෝක තරුණ සමුළුවේ දී, National Youth Icon Award 2019 (ජාතික තරුණ සම්මානය 2019) ලැබුණා. ඔබට ලැබුණු වෙනත් සම්මාන මොනවද? 2018 වසරේ දී රටවල් අසූවක් පමණ සහභාගී වුණ දකුණු ආසියානු තරුණ සමුළුවේදී Asia Inspiration Award එක ලැබුණා සමාජ සේවය වෙනුවෙන්. ඔබ පහුගිය අවුරුදු කිහිපය තුළ සමාජ අදෘශ්‍යමානතාවය ( social invisibility ) වෙනුවෙන් ඉදිරිපත් කළ න්‍යාය ප්‍රායෝගිකව සිදුවනවාද? ඔව්. ඇත්තටම මට කියන්න සතුටුයි මේ වන විට ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම මගේ අදහස ප්‍රායෝගිකව ස්ථාපිත කරනවා. මේ ගැන සමාජය දැනුවත් කරන්න ඔබේ වැඩපිළිවෙළක් නැද්ද? රජරට විශ්වවිද්‍යාලයේ සෞඛ්‍යය ප්‍රවර්ධන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දුමින්ද ගුරුගේ සහ කථිකාචාරිනී නදීකා රත්නායක කියන දෙපළගේ ආරාධනයෙන් රජරට විශ්වවිද්‍යාලයේ "සමාජ අදෘශ්‍යමානතාවය ( social invisibility ) ගැන දේශන පැවැත්වූවා. මම හිතනවා ඒ මගින් සමාජයට කිසියම් පණිවිඩයක් යන්න ඇති කියලා. ඉදිරියේ දී වැඩිදුරටත් හිතන්න ඕනි ඒ ගැන. මේ දේවල් කරන්නේ දවසක දේශපාලනය කරන බලාපොරොත්තුවෙන් ද? අනේ නෑ. කවදාවත් මම දේශපාලනය කරන්නේ නෑ. ගොඩාක් දෙනෙක් මගෙන් ඔය ප්‍රශ්නෙ අහනවා. මම මේ දේවල් කරන්නේ පාසල් කාලයේ පටන්. මට පුළුවන් ආකාරයට උදව්වක් කරලා සතුටු වෙනවා ඇරෙන්න අසරණ වුණ ජීවිතයකට උදව්වක් කරලා ඒකෙන් මට වාසියක් ගන්න වුවමනාවක් නෑ. ඒකෙන් මට ලැබෙන හිතේ සතුට තමයි මට වැදගත්. මේ දිනවල සම්බන්ධ වී සිටින නිර්මාණ මොනවද? නිමල් රත්නායකගේ- කිසා, ඉරේශ් ලොකුබණ්ඩාරගේ -වරමද්ද ,තිලින බොරලැස්සගේ- අපි නැති අපි, රොශාන් වීරසිංහගේ- සිහින කුමාරි සහ සුමුදු වෙල්ලාලගේ- මනු සත්තු කියන ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඔබේ රංගන ජීවිතයටත් වටිනාකමක් එකතු වෙන්න යනවා. ඔව් මම මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ වසරේ නැගී එන නිළියට හිමි සම්මානයට නිර්දේශ වී තිබෙනවා. ඒ ගැන මම ස්තුතිවන්ත වෙනවා සුනිල් කොස්තා මහත්මයාට. මාව විශ්වාස කරලා සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලිනාට්‍යයයේ අයෝමාගේ චරිතය මට ලබාදුන්නේ එතුමා. මට ඒ සම්මානය හිමි නොවුණත් මාව එයට නිර්දේශ වූ එකම මට විශාල සතුටක්.නාළිකා බොහෝමයක විකාශය වන ටෙලිනාට්‍ය විශාල ප්‍රමාණයක් අතරින් නිර්දේශ වීමම මා ලැබූ ජයග්‍රහණයක්. කිසිම සම්මාන උලෙළකින් ආරාධනාවක්වත් නොලැබුණු මට නිර්දේශ වූ බව දන්වා ලැබුණු දුරකථන ඇමැතුම කිසි දිනක අමතක නොවේවි. මනුසත්කම අරුත් ගන්වන්නට සැම විටම වෙහෙසෙන ඔබට වසරේ නැගී එන නිළියට හිමි සම්මානය ලැබේවායි අරුණ පිනිපලස අපි ප්‍රාර්ථනා කරන්නෙමු.   සොබා ඩී කෝලියවංශ ඡායාරූප - සමන් අබේසිරිවර්ධන  
 

More News..