brand logo

වැඩිපුර සරසවි වරම් ලබන සිසුන්ට කෝටි 500ක්

10 March 2020

මෙම වසරේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කෙරෙන ශිෂ්‍ය සංඛ්‍යාව පසුගිය වසරට වඩා හත් දහසත් අටදහසත් අතර සංඛ්‍යාවකින් ඉහළ දැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සැලසුම් කර ඇත. එම ශිෂ්‍ය සංඛ්‍යාව වෙනුවෙන් පමණක් අමතර රුපියල් කෝටි පන්සියයක් පමණ වැය වන බවට ඇස්තමේන්තු කර ඇත. අවශ්‍ය අමතර ප්‍රතිපාදන සම්බන්ධයෙන් මහාභාණ්ඩාගාරය දැනුවත් කර තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ඉතිහාසයේ එක් වසරක දී මෙතරම් ශිෂ්‍ය සංඛ්‍යාවක් වැඩිපුර ඇතුළත් කෙරෙන ප්‍රථම අවස්ථාව මෙය වෙයි. ඒ අනුව පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට සුදුසුකම් ලැබූවන්ගෙන් 2019 2020 අධ්‍යයන වර්ෂය සඳහා ඇතුළත් කෙරෙන සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව හතළිස් දහසට ආසන්න වනු ඇතැයි ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ‘අරුණ’ට ඊයේ (09 වැනිදා) පැවසීය. ශාස්ත්‍ර පීඨ පාඨමාලා සියයට සියයක් ම රැකියාභිමුඛ කිරීමට සැලසුම් කෙරෙන අතර ඒ යටතේ සෑම ශාස්ත්‍ර පීඨයක් සඳහාම පරිගණක විද්‍යාගාරය බැගින් ඇති කිරීමට ද දෙවැනි භාෂාව ලෙස ඉංග්‍රීසි පාඨමාලා ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. සියලු ශාස්ත්‍ර පීඨවල පරිගණක විද්‍යාව හා ඉංග්‍රීසි භාෂාව වෙනුවෙන් එකම විෂය නිර්දේශයක් ක්‍රියාත්මක කෙරේ. පරිගණක විද්‍යාගාර පිහිටුවීම සඳහා අධාර කිරීමට ලෝක බැංකුව එකඟතාව පළ කළ බව සභාපතිවරයා සඳහන් කළේය. මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මේ වන විට අයැදුම්පත් කැඳවා ඇත. නව හා පැරණි විෂය නිර්දේශ දෙක යටතේ විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කෙරෙන මධ්‍යයන ක්‍රමයක් පිළිබඳ ප්‍රවේශ අත්පොතේ සඳහන් වන නමුත් මෙවර උපරිම ශිෂ්‍ය සංඛ්‍යාවක් ඇතුළත් කිරීමට පියවර ගන්නා බවත් ඒ සඳහා සියලු උපකුලපතිවරුන් හා පීඨාධිපතිවරුන් සමග සාකච්ඡා කර එකඟතාවන්ට පැමිණ ඇති බවත් සභාපතිවරයා කීවේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් හා පූර්ණ සහයෝගය මේ සඳහා හිමි වන බවත් ඇතුළත් කෙරෙන ශිෂ්‍ය සංඛ්‍යාවන් හා ඒ සඳහා වැය වන ප්‍රතිපාදන සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට පියවර ගත් බවත් මහාචාර්යවරයා පැවසීය. ශාස්ත්‍රපීඨයන්හි සිදු විය යුතු වෙනස්කම් පිළිබඳව ඉකුත් 5 වැනිදා සියලු උපකුලපතිවරුන් හා පීඨාධිපතිවරුන් දැනුවත් කිරීමට ද කොමිෂන් සභාව පියවර ගෙන ඇත.   නිලන්ත මදුරාවල
 

More News..