brand logo

වැට් වාසිය දෙන්න තව කාලයක් ඉල්ලයි

13 January 2020

වැට් බදු සංශෝධනයට පෙර නිෂ්පාදනය කරන ලද භාණ්ඩ සහ ආහාර ද්‍රව්‍ය තොග ගබඩාවල පවතින බැවින් වැට් බදු අඩු කිරීමේ වාසිය ජනතාවට ලබාදීම සඳහා සහන කාලයක් අවශ්‍ය බව නිෂ්පාදන සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දී ඇත. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය දිනවල අදාළ සමාගම් සමග කළ සාකච්ඡාවලදී මේ බව අනාවරණය වී ඇත. ජනවාරි මස 01 වැනිදා සිට සියයට 12ක්ව පැවැති වැට් බද්ද සියයට 8 දක්වා අඩු කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි. එහෙත් ඊට පෙර නිෂ්පාදනය කළ ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ තොග ගබඩාවල පවතින බව සමාගම් පෙන්වා දෙයි. එම භාණ්ඩ සියයට 8ක් වූ වැට් බදු ප්‍රතිශතයට වෙළෙඳපොළට නිකුත් කළහොත් විශාල පාඩුවක් ලැබීමට සිදුවන බව සමාගම් පෙන්වා දී තිබේ. ඇතැම් සමාගම් නව නිෂ්පාදන මේ වන විට නතර කර තිබෙන බවද වාර්තා වෙයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මෙජර් ජෙනරාල් ශාන්ත දිසානායක ප්‍රකාශ කළේ වැට් බදු සහනය ජනතාවට අනිවාර්යයෙන්ම ලබාදිය යුතු බවට සමාගම් දැනුවත් කර ඇති බවයි. උදයජීව ඒකනායක
 

More News..