brand logo

වැට් අඩු වුණාට මත් පැන් මිල අඩු නොවෙන්න හේතුව

27 January 2020

වැට් බදු අඩු කිරීම හේතුවෙන් දේශීය ‍වෙළෙඳපොළේ මත්පැන් මිල අඩුවිය යුතු වුවත් මුදල් අමාත්‍යාංශය සුරාබදු වැඩි කිරීම හේතුවෙන් පාරිභෝගිකයාට එම සහනය ලබාදීමට නොහැකි බව මුදල් අමාත්‍යාංශයෙන් වාර්තා වෙයි. සියයට 12ක්ව පැවැති වැට් බද්ද සියයට 8 දක්වා අඩු කිරීමට රජය තීරණය කරන ලදි. ඒ අනුව මත්පැන්වලද මිල අඩු විය යුතුය. එහෙත් මුදල් අමාත්‍යාංශය 2019/12/03 වන දින සිට බලපැවැත්වෙන පරිදි සුරාබද්ද වැඩිකර ඇත. ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද බලපත්‍ර ලත් යම් නිෂ්පාදනාගාරයක නිපදවන විශේෂ අරක්කු, මත්පැන්, මද්‍යසාර සෑම ලීටරයකටම රුපියල් 3800ක සුරා බද්දක් අය කරයි. මෙවැනි නිෂ්පාදනාගාරයකින් නිකුත් කරන ඉක්ෂුපාත, තල්, පොල් සහ පදම් කළ අරක්කු සෑම ලීටරයකටම රුපියල් 4050ක සුරා බද්දක් අය කරයි. ශ්‍රී ලංකාව තුළ නිපදවන ලබන විදේශීය ස්ප්‍රිතු මත්පැන් මද්‍යසාර ලීටරයකටම රුපියල් 4150ක සුරා බද්දක් අය කරයි. මේ ආකාරයකට තවත් විවිධ මත්පැන් නිෂ්පාදන සඳහා සුරාබදු වැඩි කර තිබේ. මේ නිසා වැට් බදු අඩු කිරීම හේතුවෙන් මත්පැන් බෝතල මිල රුපියල් 200-500 දක්වා අඩුවිය යුතු වුවත් සුරාබදු වැඩි කිරීම හේතුවෙන් එම සහනය පාරිභෝගිකයාට නොලැබුණු බව මුදල් අමාත්‍යාංශය පවසයි. උදයජීව ඒකනායක
 

More News..