brand logo

වැගන්ආර් ගණන් ගියා යැයි හූල්ලද්දී අපට අමතක ලංකාවේ හදාපු කාර්

22 April 2019

මිනිසාගේ මූලික මිනිස් අවශ්‍යතා ලෙස අප පාසල් යන සංදියේ ඉගෙන ගත්තේ ආහාර, ඇඳුම් හා නිවාසය. එහෙත් ක්‍රම ක්‍රමයෙන් ලංකාවේ නම් මූලික අවශ්‍යතාවන් වෙනස් වී තිබේ. අද ලංකාවේ ජනතාවගේ මූලික මිනිස් අවශ්‍යතාව වනාහි ‘‘වැගන් ආර්’’ය. වැගන් ආර් යනු කුඩා මෝටර් රථයකි. අපේ හුදී ජනතාව නොකා නොබී හෝ ‘‘වැගන් ආර්’’ එකේ ෆිනෑන්ස් එක ගෙවන්නේ රත්තරං බඩු ටික හෝ උකස් තබාය. වැගන් ආර් ගැන හදකම්පා කරන පුවතකින් පසු ගිය සතියේ මුළු ජාතියම හඬා වැළපෙන්නට විය. එම දිනය ජාතික ශෝක දිනයක් බවට පත් නොකළේ ගරු ජනාධිපතිතුමා ප්‍රවෘත්තිය පත්තරෙන් නොදුටු නිසා විය යුතුය. මේ වනවිට වැගන් ආර් රථ 55,000ක් ජපානයෙන් ආනයනය කොට ඇත. වැගන් ආර් රථයකට අය කරන තීරු බදු ගාස්තුව රුපියල් 16,25,000 දක්වා වැඩි වී තිබේ. එම බද්ද මීට පෙර පැවැතියේ රුපියල් 825,000ක් ලෙසය. මේ නිසා මින් පසු වැගන් ආර් ආනයනය නොකිරීමට වාහන ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර ඇත. එමෙන්ම මෙවර අයවැයෙන් ආනයන බදුවලින් රුපියල් මිලියන 48,000ක් උපයා ගැනීමට යෝජනා වී ඇති අතර එය සමස්ත බදු ආදායමෙන් 38%කි. ගිය සතියේ මෙරට පොදු ජනතාවට වැදගත්ම වූ ප්‍රවෘත්තිය වූයේ එයයි. වී ගොවියාට වී ටික විකුණා ගැනීමට නොහැකි වුණාට, පෙට්‍රල් මිල වැඩි වුණාට, කිරිපිටි මිල වැනි මොන ඉලව්වකට වත් වඩා අපේ ජනතාවට වැදගත් වූයේ වැගන් ආර් මිල වැඩිවීමය. අපේ රටේ ඇත්තේ පුදුම වාහන උණකි. හැම නිවසකටම ‘‘කුඩා කාර් සිහිනය’’ සැබෑ කරන බව 2015 මැතිවරණයේදී හත්පොළේ දිවුරුවේ මේ ‘‘වාහන උණ’’ හොඳ ඡන්ද ගුණ්ඩුවක් වන බව දත් නිසාමය. එහෙත් ඒ පොරොන්දුව දුන් අයගේම පාලනය තුළ කුඩා කාර්වලට මහින්දාගමනයෙන් පසු ඉහළම තීරු බද්ද හඳුන්වා දීම දෛවයේ සරදමක් බඳුය. දැන් මේ කතා කරන්නේ ආනයනික කාර් ගැනය. ලංකාව අංග සම්පූර්ණ මෝටර් රථයක් එකලස් කළේ ඉන්දියාවටත් පළමුව බව අද බොහෝ දෙනාට අමතනව තිබේ. ලංකාවේ උපාලි විජේවර්ධන හෝමාගම නිපද වූ ‘‘උපාලි ෆියට්’’ උපාලි මැස්ඩා රථ දුටු එවකට ඉන්දියන් අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධිගේ පුත් සංජේ ගාන්ධි ඉන්දියාවේද මතු දිනෙක ලංකාවේ මෙන් සුවපහසු මෝටර් රථයක් නිෂ්පාදනය කළ යුතු බව කියා ඇත. සංජේ ගාන්ධි එසේ කියා නිකං හිටියේ නැත. ජපානයේ සුසුකි සමාගම සමග එක්වී ‘‘මරුති’’ නමින් කුඩා මෝටර් රථයක් නිෂ්පාදනය කරන්නට පියවර ගත්තේය. මරුති යනු මාරුතය නමැති අරුතයි. වරක් ‘‘මරුටි උඩ්යොන්ග්’’ කොම්පැනිය කොට උඩ යද්දී ඉන්දිරා ගාන්ධි අගමැතිනිය එය රජයට පවරාගෙන පුනරුත්ථාපනය කළේය. ඒ මරුටි කොම්පැනිය අද වනවිට මුළු ආසියාවේම කුඩා වාහන වෙළෙඳ ඒකාධිකාරයක් බිහි කරගෙන ඇත්තේය. ඇත්තටම ලංකාවේ දැන් වාහන නිෂ්පාදනය කිරීමට බැරි ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මෙරට බදු ප්‍රතිපත්තියය. අත්‍යවශ්‍ය බදු ප්‍රතිපත්තියක් පවත්වාගෙන නොගොස් හිතුමතේ බදු ප්‍රතිපත්ති වෙනස් කිරීම නිසා ලංකාවේ වාහනයක් එකලස් කරන්නට ආයතනයක් ආයෝජනය කරන්නට ගියහොත් එය හුදෙක් ‘‘වාහන උණක්’’ තිබීම නිසා විය යුතුය. යුනයිටඩ් මෝටර්ස් ආයතනය මෑතක් වනතුරුත් දේශීයව වාහනයක් එකලස් කරන ආයතනයකි. ඔවුන් මාසයකට ලංකාවේ වාහන 100ක් පමණ එකලස් කොට නිෂ්පාදනය කෙරෙති. එහෙත් හිටි අඩියේ බදු ප්‍රතිපත්තිය වෙනස් වීම නිසා ඔවුන්ගේ වාහන මාසයකට නිෂ්පාදනය 20 දක්වා පහත බහින්නට විය. මෙවැනි බදු ප්‍රතිපත්ති නිසා ලංකාවට වාහන එකලස් කරන කොම්පැනි කීයටවත් ආයෝජනය කරන්නට එන්නේ නැත. ඊට කදිම උදාහරණය බංග්ලාදේශයයි. එරට බදු ප්‍රතිපත්තිය නිසා ජපානයේ ටොයෝටා ආයතනය වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් බංග්ලාදේශයේ ආරම්භ කළේය. එහෙත් ඒ ටොයෝටා ෆැක්ටරිය මුලින්ම පිහිටුවීමට යෝජනා වූයේ ලංකාවෙන් මෙරට දේශපාලකයින් කොමිස් ඉල්ලීම නිසා එය බංග්ලාදේශයට ගෙන ගිය බවත් දන්නේ කීයෙන් කීදෙනාද? ඇත්තටම ලංකාවේ මේ කුඩා රථ ජනප්‍රිය වීමට හේතුව කුමක්ද? බංග්ලාදේශය, පකිස්තානය. මාලදිවයින වැනි රටවලද කුඩා කාර් ඉතා ජනප්‍රියය. මේ රටවල මේ කුඩා රථ ජනප්‍රිය වීමට හේතුව මිල අඩුවීමය. එහෙත් යුරෝපීය රටවල මේ කුඩා රථ ජනප්‍රිය වීමට හේතුව වාහන ගාල් කිරීමේ නොහොත් Parking පහසුවීමය. යුරොපයේ විශාල රථ නැවත්වීම ඉතා ලොකු ප්‍රශ්නයකි. නමුත් යුරෝපයේ වාහන නැවැත්වීමේ මහා ප්‍රශ්නය තිබුණත් එම රටවල ජනප්‍රිය multi purpose vehicle නමැති සංකල්පයයි. ජපානයේ හැටේ දශකයේ දී මුලින්ම වාහන එකලස් කිරීමට තෝරාගෙන ඇත්තේ ලංකාවය. ඊට හේතුව ලංකාවේ තරම් ඉහළ ඥානයක් තිබුණ වාහන ඉංජිනේරුවන්, තාක්ෂණ ශිල්පීන් හා කාර්මිකයින් කලාපීය රටවල් කිසිවක නොසිටීමය. ජපානය මුලින්ම ලංකාවේ එකලස් කරන්නට පටන් ගෙන ඇත්තේ මිටිසුබිෂි කෝල්ට් නමැති මෝටර් රථයයි. මෙම මෝටර් රථය තවමත් ඉඳ හිට පාරේ දැකගත හැකිය. ජපානය ඊළඟට ලංකාවේ එකලස් කරන්නට පටන් ගත්තේ මිටිසුබිෂි 4DR නම් ජීප් රථයයි. ඉන්දියාවේ මහින්ද්‍රා සමාගම ‘ජීප්’ නමින් වාහන හදන්නට පටන් ගත්තේ ලංකාවටත් පසුවය. එහෙත් එම රථයට ජපනා ලංකාවේ එකලස් කළ මිටිසුබිෂි රථය අහලකටවත් ළඟා විය නොහැකිවිය. ලංකාවේ එකලස් කළ මුල්ම ජීප් රිය පෙට්‍රල් එන්ජිමක් සහිත එකක් වූ අතර එය ලියාපදිංචි කෙරුණේ 5 ශ්‍රී කාණ්ඩය යටතේය. ඉන්පසු ඒ චැසියටම ඩීසල් එන්ජින් තබා ලංකාවේ ඩීසල් මිට්සුබිෂි ජීප් රිය එකලස් කිරීම සිදුවිය. ඒ 25 ශ්‍රී කාණ්ඩය යටතේය. 25 ශ්‍රී අවසන් වූ පසු එය ලියාපදිංචි කරන ලද්දේ 31 ශ්‍රී කාණ්ඩය යටතේය. කෙසේ නමුත් ලංකාවේ කාර් නිෂ්පාදනය ගැන ප්‍රචලිත නාමය උපාලි විජේවර්ධන නම් නාමයයි. උපාලි විජේවර්ධන වාහන නිපදවන්නට ලියාපදිංචි කළ සමාගමේ නම උපාලි මෝටර් කොම්පැනි (umc) නම් විය. එහි ලියාපදිංචි කාර්යාලය වූයේ අංක 223 බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13 නම් අද දිවයින කාර්යාලයයි. එහෙත් වාහන එකලස් කරන කර්මාන්ත ශාලාව පිහිටුවා තිබුණේ අද දිවයින මුද්‍රණය පිහිටි හොරණ භූමියේය. මෙම භූමිය උපාලි මිලදී ගන්නා විට කුඹුරකි. මේ කුඹුර ගොඩ කිරීමට කොන්ත්‍රාත් ගත් පුද්ගලයා උපාලි ගැන අමුතුම කතාවක් කියා ඇත. ‘‘ලංකාවේ හෝමාගම කාර් හදන කොම්පැනියක් උපාලි මහත්තයා පටන් ගන්න යනවැයි කිව්වම කවුරුත් අන්දමන්ද වුණා. අක්කර ගාණක කුඹුරක් අරන් තිබුණා. උපාලි මහත්තයා කුඹුරු යාය පෙන්නල ගොඩ කරන්න ගාන ඇහුවා. මම ගාන කිව්වා. කොච්චරකල් යනවද ඇහුවා. මේ මහ කුඹුර පුරවන්න මාස 6ක් මම ඉල්ලුවා. ‘‘නෑ නෑ’’ එහෙම බැහැ. මම ඉල්ලපු ගාන වගේ ඩබල් දෙනවා. මාස 3න් මට කුඹුර පුරවලා දෙන්න කියලා උපාලි මහත්තයා කිව්වා’’ ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇති දත්ත වාර්තාවක ඇතතේ උපාලි විජේවර්වධන නිපදවූ කාර් රථවල ඉංග්‍රීසි දැන්වීම්ය. ජපානයේ මැස්ඩා සමාගම සමග උපාලි සමාගම නිපදවා ඇති රථය මැස්ඩා 1500cc නම් වේ. මේ රථයක් තවම කොළඹ ගංගාරාම විහාරස්ථානයේ ඇත. මෙහි මුල්ම රථය පූජා කර ඇත්තේ කැලණිය පන්සලටය. උපාලි සමාගම මැස්ඩා රථයේ දැන්වීම පළ කොට ඇත්තේ in the making your umc mazda 1500 යනුවෙනි. උපාලි මෝටර් සමාගම ඉතාලියේ ෆියට් සමාගම සමග එක්වී මෙරට නිෂ්පාදනය කළ මෝටර් රථය උපාලි ෆියට් 128 නම් විය. එම උපාලි ෆියට් දැන්වීම දක්වා ඇත්තේ Book your upali flat 128 now no permit requrist යනුවෙනි. එම දැන්වීමේ ශීර්ෂ පාඨයෙන්ම ලංකාවේ එවකට වාහන සඳහා තිබූ ඉල්ලුම තේරුම් ගත හැකිය. එකල මෝටර් රථයක් භාවිත කළ සෑම පුද්ගලයකුටම ආදායම් බදු ලිපි ගොනුවක් තිබීම අත්‍යවශ්‍ය විය. වාහනය ලියාපදිචි වනවිටම සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක අගමැතිතුමියගේ ආණ්ඩුවෙන් ආදයම් බදු ලිපි ගොනුවක්ද ලැබුණේ දායාදයක් ලෙසය. එදා මේ රටේ පාරක තොටක වාහන තදබදයක් නැතුව යන්නට හැකියාව තිබුණේ මේ නීතිය නිසාය. උපාලි මෝටර් සමාගමේ මෝටර් රථ නිෂ්පාදනය අද දක්වා කෙරුණා නම් අද වැගන් ආර් මිල වැඩියි අඳෝනා නගන්නට සිදුවන්නේ නැත. උපාලි විජේවර්ධන නම් දූරදර්ශී නායකයා තම මෝටර් රථවල චැසිය ආනයනය කරන ලද්දේ ලොරියකට ගසන බද්දක් වැනි ඉතා බදු මුදලකටය. අද මේ අපේ රටේ කාර් නිෂ්පාදනය තිබුණා නම් ඒවා බංග්ලාදේශය, පාකිස්තානය, මෙන්ම මැලේසියාවද ආක්‍රමණය කොට හමාරය. මැලේසියාවේ කොකෝවා රජ්ජුරුවෝ වූයේ උපාලි විජේවර්ධනය. මැලේසියාව ‘‘භූමිපුත්‍ර පනත’’ ගෙන එන ලද්දේ මැලේසියාවේ උපාලි විජේවර්ධන ධන රාජධානියට ගසා බිම හෙළන්නටය. ලංකාවේ වාහන සඳහා සීට්, කේබල්, රබර් බුෂ්, ෆයිබර්, කොටස් නිෂ්පාදනය කරන ලද්දේ ලංකාවේමය. ඒවායේ සීට් ලංකාවේ නිපදවූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. අදද ජපානයේ වාහනවලට සීට් නිපදවන ආයතන නිදහස් වෙළෙඳ කලාපයේ ඇත. අද වන තුරු ලංකාවේ වාහන නිෂ්පාදනය තිබුණා නම් 60%ක්වත් අංගෝපාංග ලංකාවේම නිපදවා ගත හැකිව තිබුණි. මැලේසියාව ජපානයේ මිටිසුබිෂි සමාගම සමාගම සමග එක්ව පෙරදුවා හා ප්‍රෝටෝන් රථ නිපදවන්නට ගන්නේ ලංකාවේ වාහන නිපදවූවාට බොහෝ කලකට පසුවය. එහෙත් එම රථ අද ලංකාව මෙන්ම ලෝක වෙළෙඳපොළ ජය ගෙන ඇත. එය දෙවැනි වන්නේ ඉන්දියන් වාහන නිෂ්පාදනයට පමණි. අපටත් පසු මෝටර් රථ නිෂ්පාදනයට අත ගැසූ රටවල් අපේ මේ ‘සසිරිබර සිරිලංකාව’ පසුකර ගෙන යද්දී අපට ඇති එකම ඉරණම අඩ බලා ගෙන විරිත්තාගෙන සිටීම පමණක්ද? වජිර ලියනගේ
 

More News..