brand logo

වාහන ගේන්න ආනයනකරුවන්ගෙන් රජයට අලුත් යෝජනා

30 September 2020

අඩු විදේශ විනිමය ප්‍රමාණයක් වැය කරමින් වැඩි බද්දක් රජයට අය කරගත හැකි ආකාරයෙන් මෝටර් රථ ආනයන කිරීම වෙනුවෙන් නියාමනයක් සකස් කර රජයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි. එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පවසන්නේ මෝටර් රථ ආනයනය කිරීම තහනම් කිරීම හේතුවෙන් මේ වන විට රට තුළ වාහන මිලගණන් ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි. ‘‘ඉදිරියේ දී වාහන ආනයනය සම්බන්ධයෙන් නියාමන සකස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. වාහන ලංකාවේ එකලස් කරනවා කියන එක ප්‍රායෝගික දෙයක් නෙමෙයි. වාහන කාණ්ඩ එකක් හෝ දෙකක් පමණයි එකලස් කරන්න පුළුවන්. එතැන දී අඩු විදේශ මුදල් ප්‍රමාණයක් වැය කරමින් රජයට වැඩි බද්දක් අය කරන්න පුළුවන් විදිහටත් පාරිභෝගිකයන්ට හොඳ වාහනයක් මිල දී ගන්නත් පුළුවන් ආකාරයට රජයත් එක්ක ඒකාබද්ධව හොඳ නියාමන සකස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ විදෙස් සංචිත ප්‍රශ්නය විසඳෙද්දී මේක ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. වෙළෙඳපොළ හැසිරීම නිසා තමයි මේ විදිහට වාහන මිල ඉහළ ගිහින් තියෙන්නේ. වෙළෙඳපොළේ වාහන නැති වුණාම අනිසි ලෙස මිල ඉහළ යනවා.’’ යැයි සභාපතිවරයා සඳහන් කරයි. පසුගිය කාලය තුළ මෙරටට ආනයනය කළ වාහනවලින් 90%ක්ම මේ වන විට අලෙවි වී ඇති බව වෙළෙඳපොළ නිරීක්ෂණ අනාවරණය කරයි. වාහන ආනයනය තවත් සැලකිය යුතු කාලයක් යනතුරු සිදුනොවනු ඇතැයි පාරිභෝගිකයන් අපේක්ෂා කිරීම ඊට හේතු වී ඇතැයි වාහන ආනයනකරුවෝ පවසති. මේ හේතුවෙන් වාහනවල මිලගණන් ක්ෂණිකව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 දක්වා ඉහළ ගොස් ඇති බවද ආනයනකරුවෝ පෙන්වා දෙති. •නයන තරංග ගමගේ
 

More News..